Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2023 13:53:55 Hours

‘යුද්ධ හමුදාධිපති අභියෝගතා කුසලාන අන්තර් සමාජ පැසිපන්දු තරඟාවලිය - 2023, හි ජය කොළඹ පැසිපන්දු ක්‍රීඩා සමාජයට

යුද්ධ හමුදාධිපති අභියෝගතා කුසලාන අන්තර් සමාජ පැසිපන්දු තරඟාවලිය - 2023 අවසන් මහා තරගය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

ජාතික මට්ටමින් පැසිපන්දු ක්‍රීඩාවට නව ජීවයක් ලබා දීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් අනුව පළමු වරට පවත්වනු ලබන මෙම තරඟාවලිය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී ආරම්භ විය.

තරඟාවලිය සඳහා කොළඹ පැසිපන්දු සමාජය, බෆලෝස් පැසිපන්දු සමාජය, මොරටුව පැසිපන්දු සමාජය, වත්තල පැසිපන්දු සමාජය, Gaja TV පැසිපන්දු සමාජය, RBC පැසිපන්දු සමාජය, යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන කණ්ඩායම් ඇතුළුව දීප ව්‍යාප්ත පැසිපන්දු කණ්ඩායම් 9 ක් මෙම තරගාවලියට එක්වූහ. අවසන් මහා තරඟය සඳහා යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම සහ කොළඹ පැසිපන්දු සමාජය කණ්ඩායම තරඟ වැදුණි.

යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී විසින් ක්‍රීඩාංගනය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව තරඟය ආරම්භයට පෙර කණ්ඩායම් නායකයින් දෙදෙනා තම කණ්ඩායමේ ක්‍රීඩකයින් එතුමන් වෙත හඳුන්වා දුන්හ.

උණුසුම් තරඟයකින් පසුව කොළඹ පැසිපන්දු සමාජය ශූරතාවයත් යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම අනුශූරතාවයත් හිමිකර ගත් අතර, ක්‍රීඩා ලෝලීන්ගේ අත්පොලසන් හඬ මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජයග්‍රාහී කණ්ඩායම් වෙත කුසලාන පිරිනමන ලදී.

උත්සවයේ ස්තුති කථාව යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් පවත්වන ලදී.

උත්සවය අවසානයේ යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ සභාපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

වාර්ෂිකව පැවැත්වීමට නියමිත මෙම තරඟාවලියේ මූලික අරමුණ වන්නේ නවක ක්‍රීඩකයින් ඉදිරියට ගෙන ඒමත් මෙම ක්‍රීඩාව ජාතික මට්ටමින් ජනප්‍රිය කිරීමත් සහ දක්‍ෂ පැසිපන්දු ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් ජාතික පැසිපන්දු සංචිතයට ඇතුලත් කිරීමත්ය.

ජාතික මට්ටමින් මෙම ක්‍රීඩාවේ පුනර්ජීවනයක් ඇති කිරීමට යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහ ලේකම් බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු කමිටුව මගින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබයි.

අවසන් මහා තරගය නැරඹීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් එක්විය.