Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2023 21:35:02 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රේජිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දශක තුනකට අධික කාලයක් රාජකාරි කිරීමෙන් අනතුරුව නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එම්.ජි.ඩබ්ලිව් විමලසේන ආර්එස්පී සහ බ්‍රිගේඩියර් ඒ.එම්.එස්.ඩි.බී අධිකාරි ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රස්පතින්දා (දෙසැම්බර් මස 14) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එම ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යේෂ්ඨ නිලධාරීන් සියලු නිල තේ පැන් සංග්‍රහක් සඳහා එක් වෙමින් ඔවුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් අතර, පසුව එම උත්සව අවස්ථාව සනිටුහන් කරමින් රෙජිමේන්තුවේ කාර්යය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූප කීපයකටද පෙනී සිටියහ. අනතුරුව දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද ඔවුන් එක් වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී විසින් විශ්‍රාම දිවියට එළඹෙන එම ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනා වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදුකරන ලදී.

අනතුරුව, එම ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනා රැස්ව සිටි සියලුම නිලධාරීන් අමතා ‘සිංහ’ පවුලේ සාමාජිකයන් ලෙස රාජකාරීන් ඉටුකිරීමට ලබාදුන් සහයෝගය පිළිබඳව කෘතවේදීත්වය පළ කළහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මිය විසින් එහිදී ජීවනී ගුරුගේ මහත්මියට සහ චිත්‍රා කුමාරි රණසිංහ මහත්මියට විශේෂ සමරු තිළිණයන් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් එක්ව සිටියහ.