Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2023 17:00:51 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තවත් තරුණ නිලධාරීන් 279 දෙනෙක් මාතෘභූමියට දායාද කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත්ම අධ්‍යාපන ආයතනය වන දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ කෙඩෙට් නිලධාරීන් 279 දෙනෙකු තම මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින අභිමානවත් පෙළපාලියකදී විසිර ගියහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ආරාධනයකට අනුව මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහභාගී විය. විදෙස් රටවල් නියෝජනය කරමින් මාලදිවයින, රුවන්ඩා, සෙනගල් සහ සුඩානය යන රටවල විදේශීය හමුදා කෙඩෙට් නිලධාරීන් හයදෙනෙකු හා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 92, 92 බී, කෙටිකාලීන නිලධාරී පාඨමාලා අංක 20 හැදෑරූ කෙඩෙට් නිලධාරීන් 279 දෙනෙකු අති ගරු ජනාධිපතිතුමන් අතින් අසිපත ලබා අධිකාරියට පත්ව විසිර ගියහ.

අධිකාරියට පත් නිලධාරීන් වෙත සුභපැතුම් එක්කිරීම සඳහා ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ විදෙස් ආරක්‍ෂක උපදේශකවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන්ගේ භාර්යාව චිත්‍රානි ගුණරත්න මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන්, අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් සහ ළඟම ඥාතීන් ද මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා සහභාගී වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් අශ්වාරෝහක භට කණ්ඩායමක් විසින් වර්ණවත් පෙරහැරකින් ප්‍රධාන ආරාධිත අමුත්තා වන අති ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතිගරු ජනාධිපතිතුමන් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ අමිල මතකයන් යලි ආවර්ජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකළේය. පසුව, එම රණවිරුවන්ගේ වීරත්වය වෙනුවෙන් ගෞරව දක්වමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වූහ.

ජාතික වැදගත්කමකින් යුත් අතිවිශිෂ්ඨ විසිරයාමේ පෙළපාලියක පසුබිමේ හමුදා ධජ එසවූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ සරඹ භූමියේ පැවති මෙම විසිර යාමේ පෙළපාලියේ අණදෙන නිලධාරි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් යූ.එස් රණවීර පීඑස්සී උත්සවයේ ඉතිරි කටයුතු සිදුකිරීමට ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් අවසර ලබාගත්තේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් අධිකාරියට පත්වන කෙඩෙට් නිලධාරීන් වෙත ජනාධිපති අධිකාරියෙහි සංකේතය වන අසිපත් ප්‍රදානය කරනු ලැබීය. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එක් එක් පාඨමාලාවන්හී හොඳම දක්‍ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරීන් වෙත විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදී.

අධිකාරියට පත්වන කැඩෙට් නිලධාරීන්, දීප්තිමත් වෘත්තීය අපේක්ෂාවන් සහ ජීවිත කාලය වැඩිදියුණු කිරීම සඳහා හොඳ පදනමක් සහිත පහළ උපායශීලී මට්ටමේ නායකයින් ලෙස යුද්ධය, කුසලතා සහ ආකල්ප පිළිබඳ අත්‍යවශ්‍ය දැනුමක් ඇති අය අනාගතයේදී මෙහෙයුම් සහ උපායමාර්ගික මට්ටමේ වගකීම් භාර ගනු ඇත.

අතිගරු ජනාධිපතිතුමන් අධිකාරියට පත් නිලධාරීන් අමතමින් වගකීමෙන් හා කාර්යක්ෂමව තම රාජකාරිය ඉටු කරන ලෙස ඔවුන් වෙත සුභපැතීය. අනතුරුව, පැමිණ සිටි සියලූම සම්භාවනීය අමුත්තන් අමන්දානන්දයට පත්කරමින් අධිකාරියට පත් වූ නිලධාරීන් මකර තොරණෙහි පියගැටපෙළ නැඟ මෙතෙක් ඔවුන් පුහුණුව ලැබූ සරඹ භූමිය තුලින් අභිමානවත් ලෙස පා ගමනින් විසිර යන ලදී. පෙළපාලිය අවසන් වීමෙන් පසු සිනෝ ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී ජනාධිපති අධිකාරියට පත් නිලධාරීන් වෙත ආදරණිය දෙමාපියන්ගේ සුරතින් තම උරහිස් මත නිල පැළඳවීමේ (Pipping Ceremony) අභිමානවත් අවස්ථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.අයි.මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව අධිකාරියට පත් නිලධාරීන් තම පුහුණු කාලය තුල තමන්ට මඟහැරුණු ආදරණීයන් සමඟින් ගෙවුණු ප්‍රීතිමත් මොහොතක් ද විය.

පාඨමාලාවන්හී විශිෂ්ඨ කුසලතා දැක්වූ කෙඩෙට් නිලධාරීන් පහතින් දැක්වේ:

නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලාව අංක 92

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරීයාට හිමි සම්මානය: කෙඩෙට් නිලධාරී පී.ජී.එස් ප්‍රසාදිත

ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය: බලඇණි මෙහෙයුම් නිලධාරී එච්.එස්.එස් ගාල්ලගේ

නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලාව අංක 92 බී

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරීයාට හිමි සම්මානය: කණ්ඩායම් මෙහෙයුම් නිලධාරී එච්.එල්.අයි කාවින්ද

ගෞරවණීය අසිපත සඳහා වූ ගෞරව සම්මානය: කණ්ඩායම් මෙහෙයුම් නිලධාරී එච්.එල්.අයි කාවින්ද

ගෞරවණීය යෂ්ඨිය සඳහා වූ ගෞරව සම්මානය - ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී ජේ.එම්.වි රුකුන්ඩූ (J.M.V Rukundo)

නිත්‍ය කෙඩෙට් නිලධාරී කෙටිකාලීන පාඨමාලා අංක 20

පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරීයාට හිමි සම්මානය: ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී ආර්.එන්.ඒ.එම්.කේ.බි. වරකාගොඩ