Header

Sri Lanka Army

Defender of the Nation

12th December 2023 08:11:00 Hours

ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 153 සාර්ථකව හැදෑරූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරින් සිව්දෙනෙකු විසිරයයි

ඉන්දියාවේ නවදිල්ලි, ඩෙහ්රාඩුන් ප්‍රදේශයේ පිහිටි ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 153 හැදෑරූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් සිව්දෙනෙකුගෙන් සමන්විත කෙඩෙට් නිලධාරින් 329 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින පැවැත්විණ. එම අවස්ථාවට ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ලුතිනන් ජෙනරල් විජේ කුමාර් මිශ්‍රා ඒවීඑස්එම් (Lieutenant General Vijay Kumar Mishra AVSM) ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සහභාගී විය.

ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 153 සඳහා ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, සුඩානය, නේපාලය, කිර්ගිස්තානය, උස්බෙකිස්තානය, බංග්ලාදේශය, එක්සත් ජනපදය, භූතානය, කෙන්යාව, කොංගෝව සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් කෙඩෙට් නිලධාරින් 329 දෙනෙකු සහභාගී වූහ. එම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 89 සහ 92 හි කෙඩෙට් නිලධාරින් සිව්දෙනෙකු ද සහභාගී වී එම පාඨමාලාව සාර්ථකව නිමකරනු ලැබූහ.

දෙරටෙහි වෘත්තීමය බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දීය යුද්ධ හමුදාව වෙත දක්‍ෂ සහ දේශප්‍රේමී නිලධාරින් පිරිසක් බිහිකරනු ලබන කීර්තිමත් ආයතනයක් වන ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය මඟින් පවත්වනු ලබන මෙම කෙඩෙට් නිලධාරි පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සහභාගී වූ අතර එතුමන් ඉන්දීය යුද්ධ හමුදා බටහිර විධානයේ ප්‍රධාන අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරල් මනෝජ් කුමාර් කාටියාර් ඒවීඑස්එම් (Lieutenant General Manoj Kumar Katiyar AVSM) සහ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ලුතිනන් ජෙනරල් විජේ කුමාර් මිශ්‍රා ඒවීඑස්එම් (Lieutenant General Vijay Kumar Mishra AVSM) විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව ඇතුළු ඉන්දියානු පාඨමාලා කිහිපයක් හදාරා ඇති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් වෙත කෙඩෙට් නිලධාරින්ගේ ගෞරවාචාරය පුදකිරීම සඳහා ඉන්දීය යුද්ධ හමුදා බටහිර විධානයේ ප්‍රධාන අණදෙන නිලධාරී සහ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායකතුමන් විසින් විශේෂ පීඨිකාව වෙත කැටුව එනු ලැබූහ. අනතුරුව, ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සම්ප්‍රදායන්ට අනුකූලව ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ගෞරවාචාර පුදකරනු ලැබීය.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් ගේ සුරතින් පාඨමාලාවේ දක්‍ෂතම කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඇතුළු තවත් දක්‍ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරීන් වෙත විශේෂ සම්මාන ප්‍රදානය කිරීමෙන් අනතුරුව එතුමන් විසිරයනු ලැබූ කෙඩෙට් නිලධාරින් ආමන්ත්‍රණය කරනු ලැබීය.

සැබෑ නායකත්වයේ හරය පිළිබඳ ඔවුන් සතු අවබෝධය සහ වෘත්තීයභාවය විදහා දක්වමින් සිදුකරනු ලැබූ සරඹ පෙළපාලිය වෙනුවෙන් එතුමන් එම කෙඩෙට් නිලධාරින් පැසසුමට ලක්කළ අතර, ඔවුන්ගේ නව වෘත්තීමය දිවියට සිය සුබපැතුම් ද එක්කළේය. තම රාජකාරීන් ඉටුකිරීමේ වැදගත්කම, තම කණ්ඩායම පිළිබඳ සැලකිලිමත් වීම, සාර්ථකත්වය සහ අභියෝග සියල්ලන් සමඟ බෙදාගැනීමේ වැදගත්කම, අවංක නිලධාරින් වශයෙන් සෑමවිටම අනන්‍යතාවයේ වටිනාකම පිළිබඳ නිරන්තර අවබෝධයෙන් සිටීම, වගකීම් සහ ඇති විය හැකි අභියෝගයන්හිදී ඔවුන්ගේ දායකත්වය පිළිබඳව ද එතුමන් සිය දේශනයේදී අවධාරණය කරනු ලැබීය.

එමෙන්ම, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් වලින් සමන්විත ඉහළම මට්ටමේ පුහුණු ක්‍රමවේදයන් ඔස්සේ පුහුණු පාඨමාලාවන් පැවැත්වීම සබැඳිව එතුමන් ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායකතුමන් පැසසුමට ලක්කළේය. හමුදා සාමාජිකයෙකුගේ ශ්‍රේෂ්ඨත්වය සේවා කාලයෙන් හෝ නිලයෙන් මැන බැලිය නොහැකි බවත් තම ජාතිය සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකරනු ලබන කැපකිරීම මත එය තීරණය වන බවත් එතුමන් වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පිඑස්සී සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක (ආරක්‍ෂක) ද සහභාගී වූහ. පහත නම් සඳහන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෙඩෙට් නිලධාරින් ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 153 සාර්ථකව හදාරා විසිර ගියහ:

කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 89 හි කෙඩෙට් නිලධාරි අයි.එච්.එම්.කේ. හේරත්

කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 89 හි කෙඩෙට් නිලධාරි එන්.සී.එස්.ටී. ඩයස්

කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 92 හි කෙඩෙට් නිලධාරි ආර්.බී.කේ.බී. ජයතිලක

කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 92 හි කෙඩෙට් නිලධාරි ඒ.ජී.එස්.එම්. ජයසුන්දර