Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2023 11:43:03 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලා අංක - 17 හි ආරාධිත දේශනය සිදුකරයි

සපුගස්කන්ද, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය මගින් පවත්වනු ලැබූ මාණ්ඩලික පාඨමාලා අංක 17 හැදෑරූ දේශිය සහ විදේශිය උපාධි අපේක්‍ෂකයින් ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදායානුකූ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශනය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින එම විද්‍යාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු සිදුකරනු ලැබීය. මෙම විද්‍යාලය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට අණ සහ මාණ්ඩලික ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුම ලබාදෙමින් අනාගතයේ එම නිලධාරින් විවිධ තනතුරු හෙබවීමේදී සහ අභියෝගවලට මුහුණදීමේදී ඵලදායි අයුරින් කටයුතු කිරීමේ ගුණාංග ප්‍රවර්ධනය කරනු ලබන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යයන ආයතනයකි.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී එතුමන් පිළිබඳව උපාධි අපේක්‍ෂකයින් වෙත හඳුන්වාදෙනු ලැබීය. එම දේශනය සඳහා විදේශීය නිලධාරින් 25 දෙනෙකු ඇතුළු උපාධි අපේක්‍ෂකයින් 148 දෙනෙකු සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී, ‘Sri Lanka Army’s Concerns on National Security and transformation’ යන තේමාව යටතේ යුද්ධ හමුදාවට ඇති සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන තර්ජන සහ අභියෝගයන්ට මුහුණ දීම සඳහා යුද්ධ හමුදාවේ සිදුකරමින් පවතින යාවත්කාලීන කිරීම් පිළිබඳවත් අවධානය යොමු කරමින් දේශනය සිදුකරනු ලැබීය.

දේශනය අවසානයේදී උපාධි අපේක්‍ෂක නිලධාරීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු සැපයිම හා පැහැදිලි කිරීම් සිදුකල අතර, සියලුම උපාධි අපේක්‍ෂකයින් වෙනුවෙන් සේනාවිධායකතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරමින් ‍සිය කෘතඥතාව පළ කරන ලදී. මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින්ද සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මීට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුස්ථකාලය වෙත රු. මිලියන 2.5 ක වටිනාකමකින් යුත් පොත් තොගයක් පරිත්‍යාග කරනු ලැබූ අතර, සේනාවිධායකතුමන්ගේ උපදෙස් මත එම පුස්ථකාලයේ නවතමයෙන් ඉදිකරන ලද ‘Commander's Corner’ පරිශ්‍රය සුබ මොහොතින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්, එහිදී, ශිෂ්‍ය නිලධාරීන් සහ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කාර්යය මණ්ඩලය සමඟින් තේපැන් සංග්‍රහයකට සහභාගී වෙමින් සුහඳව අදහස් හුවමාරුවක නිරත විය.

එතුමන් විද්‍යාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි විශේෂ සටහනක් ද තැබුවේය.

බංගලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ සැම්බියාව යන රටවල් නියෝජනය කරමින් විදෙස් ශිෂ්‍ය නිලධාරින් 25 දෙනෙකු සහ යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් 72 දෙදෙනෙකු නාවික හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකු ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් 24 දෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු ඇතුළුව ශිෂ්‍ය නිලධාරින් 148 දෙදෙනෙකු ‘පීඑස්සී’ උපාධිය සඳහා මාණ්ඩලික පාඨමාලා අංක 17 හදාරනු ලබයි.