Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2023 10:03:27 Hours

3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 35 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

නොවැම්බර් මස 16 දිනට යෙදුනු 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 35 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් කලත්තෑව ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.වී.ඒ.එම්. විතානගේ ආර්එස්පී පීඑස්සී සහභාගී විය.

සංවත්සර දිනයට ප්‍රථම ජය ශ්‍රී මහා බෝධිය අභියසදී දිවංගත රණවිරුවන් වෙත පිං අනුමෝදන් කර රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන් සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ආශිර්වාද එක්කිරීමෙන් අනතුරුව අනුරාධපුර ‘අශෝක’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

සංවත්සර දිනයේදී, ඒකක මූලස්ථානය වෙත සපැමිණ අණදෙන නිලධාරීතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකරනු ලැබීය. අනතුරුව, පසුගිය වසරේ ක්‍රීඩා සහ අනෙකුත් ක්ෂේත්‍රයන් තුළින් දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමිණි. සංවත්සර දිනය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව අණදෙන නිලධාරිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල සුහද හමුවක් සහ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.