Header

Sri Lanka Army

Defender of the Nation

18th November 2023 00:33:36 Hours

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් එල්.සී.ආර්. ජයසූරිය ආර්එස්පි එන්ඩීසී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ මණ්ඩපාධිපති මේජර් ජෙනරල් එල්.සී.ආර්. ජයසූරිය ආර්එස්පි එන්ඩීසී පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් සිකුරාදා (නොවැම්බර් මස 17) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් එල්.සී.ආර්. ජයසූරිය ආර්එස්පි එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ කැපවීම සහ මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා දක්වනු ලැබු දායකත්වය පිළිබද මතකාවර්ජනයක නිරත වෙමින් එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුබපැතුම් ද එක්කළේය.

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එල්.සී.ආර්. ජයසූරිය ආර්එස්පි එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් එල්.සී.ආර්. ජයසූරිය ආර්එස්පි එන්ඩීසී පීඑස්සී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එල්.සී.ආර්. ජයසූරිය ආර්එස්පි එන්ඩීසී පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ද යුද්ධ ද හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් පිරිනමනු ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජනවාරි මස 01 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායට එක්වූ මේජර් ජෙනරල් එල්.සී.ආර්. ජයසූරිය ආර්එස්පි එන්ඩීසී පීඑස්සී දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 31 සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්විය. වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත කෙරුණු එතුමන් පසුව සන්නද්ධ බුද්ධ බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදාවේ සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 ඔක්තෝබර් මස 10 දින එතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

මේජර් ජෙනරල් එල්.සී.ආර්. ජයසූරිය ආර්එස්පි එන්ඩීසී පීඑස්සී විශ්‍රාම ලබන විට සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දක්‍ෂිණ මණ්ඩපයේ මණ්ඩපාධිපති ධූරයන් හොබවමින් සිටියේය. එතුමන්ගේ සේවා කාලය තුළ 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බුද්ධි නිලධාරි, අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ජී.පී. කුලතුංග ආර්එස්පී යූඑස්පී ගේ අධිසහයක, 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු අංශයේ නිලධාරි උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු අංශයේ විධායක අධිකාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී අධ්‍යයන මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි, 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියාන්විත/පුහුණු), යුද්ධ හමුදා මූලස්ථානයේ සන්නද්ධ බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (රෙජිස්ට්‍රි සහ පර්යේෂණ), යුද්ධ හමුදා මූලස්ථානයේ සන්නද්ධ බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, යුද්ධ හමුදා මූලස්ථානයේ කාර්යයේ නියුතු යුද සේවා ලේකම්, ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්, සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ සන්නද්ධ බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් බුද්ධි, යුද්ධ හමුදා මූලස්ථානයේ සන්නද්ධ බුද්ධි අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ කාර්යයේ නියුතු අධ්‍යක්‍ෂ, 653 පාබල බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ බුද්ධි සම්බන්ධීකරණ නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ සන්නද්ධ බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සන්නද්ධ බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

යුදබිමේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් එතුමන් ‘රණවික්‍රම පදක්කමෙන්’ පිදුම් ලබා ඇත.

එතුමන්ගේ හමුදා දිවිය තුළ ඛණ්ඩභාර නිලධාරි උපක්‍රමික පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව - ඉන්දියාවේ, දෙහ්රාඩුන් පිහිටි ඉන්දියානු හමුදා ඇකඩමිය, තරුණ නිලධාරීන්ගේ පාබල පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව - බංගලාදේශය, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය වැනි උසස් අධ්‍යාපනික හා හමුදාමය නොවන පාඨමාලා ගණනාවක් ද හදාරා ඇත.