Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2023 21:57:05 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් සිකුරාදා (නොවැම්බර් මස 10) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය.

එහිදී පැවති සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන්, මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී ගේ සේවය අගය කරමින් මානුෂීය මෙහෙයුම් සමයේ මතකයන් ආවර්ජනය කරමින් අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සුබපැතුම් එක්කළේය.

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී සමඟින් සුහද අදහස් හුවමාරුව අතරතුරදී එතුමන්ගේ භාර්යයාව සමඟින්ද සුහදව අදහස් හුවමාරුකරගනිමින් වෘත්තීය දිවිය තුළ විවිධ අභියෝගාත්මක කාර්යභාරයන් ඉටුකරන සමයේදී සිය පවුලේ සාමාජිකයන් එතුමන් වෙත ලබාදුන් සහයෝගය පිළිබඳව ඇගයීමට ලක්කළේය.

මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී, සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සිය කෘතඥතාව පුදකළේය. සුහද හමුව සමාප්තියේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ප්‍රදානය කරන ලදී. එතුමන් පිළිබඳ විස්තරයක් පහතින් දැක්වේ

වර්ෂ 1989 නොවැම්බර් මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුළත් වූ මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 07 සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලාවන් සාර්ථකව හදාරාසාර්ථකව හදාරා දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 නොවැම්බර් මස 14 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් වර්ෂ 2023 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 5 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරී, විධායක අධිකාරී, බලඝණ අණදෙන නිලධාරි, ඉංජිනේරු බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 3, 7 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ බලඝණ අණදෙන නිලධාරී, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ ඛණ්ඩ භාර නිලධාරී, 6 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ බලඝණ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන අංශයේ උපදේශක සහ ජ්‍යෙෂ්ඨ උපදේශක, ප්‍රධාන උපදේශක, මාණ්ඩලික නිලධාරී 1 (ඒකාබද්ධ සැලසුම් සහ සංවර්ධන අංශය), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යා‍ලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1, 9 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ U1 - ශාඛාවේ නියෝජ්‍ය ප්‍රධාන හමුදා පිරිස් පාලන නිලධාරී , ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, 51 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු අංශ ප්‍රධානි, 543 පාබල බලසේනාවේ බලසේනාධිපති, අධ්‍යක්‍ෂ මනෝවිද්‍යා මෙහෙයුම්, යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක, අධ්‍යක්ෂ පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම සහ අධ්‍යක්ෂ ජෙනරාල් පර්යේෂණ සංකල්ප සහ මූලධර්ම වැනි ධූරයන් රැසක් හොබවනු ලැබීය. එතුමන්ගේ සේවා කාලය තුළ කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, බිම් බෝම්බ ක්‍රියාකරවීමේ කළමනාකරණ පාඨමාලාව, රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර දැක්වීමේ මූලික පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පුහුණු පාඨමාලාව - පාකිස්තානය, අණ හා මාණ්ඩලික විද්‍යාල පාඨමාලාව - පාකිස්තානය, බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - පාකිස්තානය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන ශ්‍රාස්ත්‍රපති උපාධිය, පාකිස්ථානයේ බලෝචිස්තාන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති (යුධ කලාව සහ විද්‍යාව) උපාධිය, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (ආරක්‍ෂක අධ්‍යයන) උපාධිය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ඉන්දියාවේ දේවි අහිල්යා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව වැනි උසස් අධ්‍යාපනික සහ හමුදා නොවන පාඨමාලා රැසක් හදාරා ඇත.