Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2023 21:45:22 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 33 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 33 වන සංවත්සරය පසුගිය බදාදා (නොවැම්බර් මස 01) දින කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සමරන ලදී. සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ කීර්තිරත්න ආර්එස්පී කේඑස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එම රෙජිමේන්තු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව සරඹ භූමීය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර විවෘත කරනු ලැබීය. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ‍ පුදකරණ ලැබීය .

යුද්ධ හමුදාධිපතිතුමන් අනතුරුව කඳවුරු පරිශ්‍රයෙහි අභිනවයෙන් ඉදිකරන ලද ක්‍රීඩා සංකීර්ණයේ සමරු ඵලකය නිරාවරණය එය භටපිරිස් වෙත පවරා දෙනු ලැබීය. පසුව යුද්ධ හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ අනෙකුත් ආරාධිතයින් සමඟ එක්ව ක්‍රීඩා සංකීර්ණය නිරීක්‍ෂණය කළ අතර, එහිදී ඔවුන් වෙත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ක්‍රීඩකයින් විසින් කරාතේ සහ ජූඩෝ සංදර්ශණයක් ඉදිරිපත් කරන ලදී.

සංවත්සරය දිනය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී එතුමන් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ.

සංවත්සර උත්සවය සඳහා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරෙ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී, රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.