Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2023 08:03:58 Hours

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ආරාධිත දේශනයක් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් කොළඹ 3, ජාතික ආරක්‍ෂක විද්‍යාලය මගින් පවත්වනු ලබන ජාතික ආරක්‍ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලා අංක - 02, සඳහා සාම්ප්‍රදායික ‘යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශනය’ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 06) දින සිදුකරනු ලැබීය.

‘Sri Lanka Army Concerns on National Security and Transformation to Meet New Challenges’යන තේමාවෙන් යුත් මෙම දේශනය මගින් නිදහසින් පසු මෙරට යුද්ධ හමුදාවට එල්ල වන තර්ජන, ආරක්‍ෂක ගැටළු සහ විවිධ අභියෝග, ප්‍රතිව්‍යුහගතකරණය යන කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීය. එහිදී යුද්ධ හමුදාවේ සුබසාධනය, මානව සම්පත් කළමනාකරණය, යාවත්කාලීනකරණය කිරීම පිළිබඳව ශිෂ්‍ය නිලධාරීන්ට යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වීමටද අවස්ථාව ලැබිණි.

ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලා අංක - 02, යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් 15 දෙනෙකුද, නාවික හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් 08 දෙනෙකුද ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිලධාරීන් 07 දෙනෙකු සහ පොලිසියේ ශිෂ්‍ය නිලධාරීන් 06 දෙනෙකුද හදාරනු ලැබේ.

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, එම විද්‍යාලයේ ලේකම් මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් පිළිගැනීමේ කථාව සිදුකරන ලදී. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් සියළුම ශිෂ්‍ය නිලධාරීන් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී. දේශනය අවසානයේදී ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායකතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණය හුවමාරුවක් සිදුවූ අතර, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක්ද තැබීය.

ජාතික ආරක්‍ෂක විද්‍යාලය ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ රාජ්‍ය සේවයේ නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිවැරදි උපායමාර්ගික තීරණ ගැනීම සංවර්ධනය කිරීමේ අරමුණින් පරිපූර්ණ දැනුමක් ලබාදීම සඳහා මෙරට ස්ථාපනය කරන ලද ප්‍රමුඛතම ආයතනයකි. එමගින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතා, ජාතික සංවර්ධනය සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමටද ජාතික ආරක්‍ෂක විද්‍යාලය දායකත්වය ලබාදෙයි.