Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2023 16:39:52 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ‘අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතාවලිය - 2023’ හි ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ

‘අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතාවලිය - 2023’ හි ත්‍යාග ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසි ගේ ප්‍රදානත්වයෙන් පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින පැවැත්විණි.

2023 වර්ෂයේ දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණින් රට පුරා විවිධ රෙජිමේන්තු නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් අන්තර් රෙජිමේන්තු තරඟාවලිය ක්‍රීඩා ඉසව් 40 ක් යටතේ පැවැත්විණි. ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටත්, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මළල ක්‍රීඩා හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ‘අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතාවලිය - 2023’ පැවැත්විය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය, ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩල ඒකාබද්ධව නිර්මාණය කරන ලද යුද්ධ හමුදා ක්‍රීඩා විද්‍යුත් ඇල්බමය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් එළිදැක්වීය.

පිළිගැනීමේ කථාව පැවැත්වීමෙන් අනතුරුව කාර්යයේ නියුතු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී විසින් ක්‍රීඩා ඉසව්වලින් අනශූරතාවය දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.

‘අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා ශූරතාවලිය-2023’ හි ශූරතාවයන් දිනාගත් රෙජිමේන්තු වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් කුසලාන පිරිනැමීමෙන් අනතුරුව පසුගියදා චීනයේ හැංහෝ ප්‍රදේශයේ පැවති ‘19 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී’ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මුදල් දිරිගැන්වීම් ද පිරිනැමීය.

ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.