Header

Sri Lanka Army

Defender of the Nation

23rd October 2023 13:47:00 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්, පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති විසිරයාමේ උත්සවයේ ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී වෙයි

පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඉෆ්තිකාර් හසාන් චවුද්‍රි (Major General lftikhar Hassan Chaudhary) ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පකිස්ථානයේ කාකුල් (Kakul) හි යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති කෙඩෙට් නිලධාරී විසිරයාමේ පෙළපාලියෙහි ගෞරවණීය ආරාධිතයෙකු ලෙස පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින සහභාගී විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, වත්මන් පාකිස්තාන හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් අසීම් මුනීර් (General Asim Munir), මේජර් ජෙනරල් ඩී.පී වෙලගෙදර ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී, පාකිස්තාන යුද්ධ හමුදා වීද්‍යාපීඨයේ වත්මන් සේනාවිධායක සමඟින් එම විද්‍යාපීඨයේම 86 වන දිගු කාළීන පාඨමාලාව හදාරා ඇත. යුද්ධ හමුදාධිපතිතුමන් වෙත එහිදී කෙඩෙට් නිලධාරීන් විසින් විසිර යාමේ පෙළපාලිය අතරතුරදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨය මගින් පවත්වනු ලැබූ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 148, ඒකාබද්ධ පාඨමාලා අංක 67, තාක්‍ෂණික උපාධි පාඨමාලාව අංක 35 සහ කාන්තා කෙඩෙට් නිලධාරිනී පුහුණු පාඨමාලා අංක 22 යන පාඨමාලාවන්හි විසිරයාමේ පෙළපාලිය පැවති අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් නවීඩ් අෂ්රෆ් (Admiral Naveed Ashraf) සහභාගී විය.

පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෙඩෙට් නිලධාරීන් දෙදෙනෙකු ද මෙම විසිරයාමේ පෙළපාලියට එක්ව සිටියහ. යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී ශ්‍රී ලාංකීය කෙඩෙට් නිලධාරීන් දෙදෙනා සහ විදේශීය කෙඩෙට් නිලධාරීන් දෙදෙනෙකු සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර, මේජර් ජෙනරල් ඩී.පී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී අයිජී ගේ පුතුණුවන්ද විසිරයන ලද මෙරට කෙඩෙට් නිලධාරීන් අතර විය.

විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පිරිනැමීම සඳහා පෙළපාළි අණදෙන නිලධාරී විසින් එතුමන් ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 148 හි ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් මෙහෙයුම් නිලධාරී මුහම්මද් අබ්දුර් රෙහ්මාන් (Muhammad Abdur Rehman ) වෙත ගෞරවනීය අසිපතද, බළඇණි ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් මෙහෙයුම් නිලධාරී මුහම්මද් හම්සා කාලිඩ් (Muhammad Hamza Khalid )වෙත ජනාධිපති රන් පදක්කමද, බළඇණි ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් මෙහෙයුම් නිලධාරී නේපාල ජාතික ශ්‍රීජන් බනියා (Shreejan Baniya) වෙත ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති විදේශීය රන් පදක්කම පිරිනමන ලදී.

67 වන ඒකාබද්ධ පාඨමාලාවේ මෙහෙයුම් නිලධාරී මුහම්මද් නජාම් අසාම් (Muhammad Najam Azam) සහ කෙඩෙට් නිලධාරිනී පුහුණු පාඨමාලා අංක 22 හි මෙහෙයුම් නිලධාරිනී ෆරීහා කයිනාත් අරිෆ් (Fareeha Kainaat Arif) වෙත සේනාවිධායක යෂ්ඨියද, තාක්‍ෂණික උපාධි පාඨමාලා අංක 35 හි කණ්ඩායම් උපකරණ පාලක සැරයන් ෆ්‍රාසාට් ටවුෆික් (Frasat Toufique) වෙත යුද්ධ හමුදා මාණ්ඩලික යෂ්ඨිය ද ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහ හමුදා සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ඩී.පී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී අයිජී සහභාගී වූහ.