Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2023 22:06:12 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා සංඥා බලකායේ 80 වන සංවත්සර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ උපදෙස් මත 2023 ඔක්තෝම්බර් මස 15 දින සිට 19 දින දක්වා ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 15) දින සවස මානූෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන්ගේ , සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ, නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ පවුල් 99 දෙනෙකුගේ සහභාගිත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. එම අවස්ථාවට සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ද එක්ව සිටියහ.

සංවත්සර දිනය වෙනුවෙන් සංඥා බලකායේ ඉදිකරනු ලැබූ නව කෞතුකාගාරය සහ ‘Lieutenant Colonel D.V Brohier Motivation Center’ පුස්තකාල ඒකකය විවෘත කිරීම මෙහිදී සිදුවූ අතර, එම අවස්ථාවට මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ ආරාධනයෙන් සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨතම විශ්‍රාමික සංඥා නිලධාරී වන බ්‍රිගේඩියර් එෆ්.සී.ජේ ද සිල්වා (විශ්‍රාමික) යූඑස්පී ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කරන ලදී.

සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිවලින් එකක් වශයෙන් ඉදිකරන ලද දෙමහල් කෞතුකාගාරය මගින් වසර 80 ක එම බලකායේ අතීත මතකයන්, තාක්‍ෂණික දියුණුව, මානූෂිය මෙහෙයුමේදී දැක්වූ දායකත්වය ආදි විවිධ අවස්ථාවන් ආවර්ජනය කරයි. මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඇති පුස්තකාලයේ වටිනා පොත් 2000 කට අධික සංඛ්‍යාවක් භාවිතය සඳහා ඇත.

සංවත්සර දිනය වෙනුවෙන් සංඥා සංගමයේ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට බ්‍රිගේඩියර් එෆ්.සී.ජේ ද සිල්වා (විශ්‍රාමික) යූඑස්පී, සංඥා සංගමයේ සභාපති මේජර් ජෙනරල් කේ.ආර්.පී රොවෙල් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී සහ මේජර් ජෙනරල් ඩී.ඒ.පී.එන් දෙමටන්පිටිය (විශ්‍රාමික) එන්ඩීයූ පීඑස්සී සහභාගී වූහ.

සන්ධ්‍යාවේ සර්වරාත්‍රික ‘පිරිත්’ සජ්ඣායනයක් පැවති අතර, ඒ සඳහා භටපිරිස් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් සහභාගී වූහ. උත්සවයේ කටයුතු අවසන් කරමින් පසුදින (16) උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීය.

ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ.ඩී අධිකාරි යූඑස්පී විසින් බ්‍රහස්පතින්දා (19) දින කඳවුරු ප්‍රධාන දොරටුව අභියසදී සංඥා බලකායේ බලකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

සංවත්සර දිනය වෙනුවෙන් ප්‍රධාන සංඥා නිලධාරී තුමන් සමඟින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව හමුදා සම්ප්‍රදායානුකූල සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී හොඳම ඒකකය සඳහා වූ කුසලානය 9 ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත පිරිනමන ලදී. උත්සව මාලාව අවසන් කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී. උත්සව අවස්ථාව සඳහා සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ද එක්වූහ.