Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2023 22:14:17 Hours

කොක්කඩිචෝලේ ප්‍රදේශයේ ගර්භනී මාතාවන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර පාර්සල් පරිත්‍යාගයක්

ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ගර්භනී මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයට අයත් 243 පාබල බලසේනාවේ භටපිරිස් මඩකලපුව, කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ පදිංචි දමිළ ගර්භනී මාතාවන් 100 දෙනෙකු වෙත පෝෂ්‍යදායී ආහාරවලින් සමන්විත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 20) දින කොක්අඩිචෝලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී. කුමාරසිංහ ගේ අධීක්‍ෂණය මත 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.එන් පත්මසිරි ප්‍රමුඛ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ රදගුරු, ජාතික ක්‍රිස්තියානි සභාවේ හිටපු මහලේකම් සහ සාමය සඳහා වූ අන්තර් ආගමික එකමුතුවේ මහලේකම් එබනේසර් ජෝශප් පියතුමා විසින් මෙම වැඩසටහන සඳහා රුපියල් 750,000.00 ක වටිනාකමකින් යුත් පෝෂ්‍යදායී ආහාර පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය. මෙම වැඩසටහනට සමගාමීව අම්බලන්තුරෙයි, කලෙයිමගල් විද්‍යාලයේ සහ අරසඩිතිව් විග්නේෂ්වරම් විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් සංස්කෘතික නර්තන අංගයක් සහ විනෝදාත්මක අංගයන් ද ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී සියලුම ගර්භනී මාතාවන් සඳහා කෙටි ආහාර සහ දිවා ආහාරය පිරිනමනු ලැබීය.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය. එමෙන්ම, ගරු එබනේසර් ජෝශප් පියතුමන්, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී. කුමාරසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොක්කඩිචෝලේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.