Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2023 22:12:00 Hours

1 බලකායේ දෙවන සංවත්සරය අභිමාවත් අයුරින් සමරයි

1 බලකායේ දෙවන සංවත්සරය වෙනුවෙන් එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත වැඩසටහන් මාලාවක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 17) දින කිලිනොච්චි 1 බලකා මූලස්ථානයේදී පවත්වන ලදී.

සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව වැඩසටහන් මාලාවක් පැවති අතර, එහි පළමු වැඩසටහන වශයෙන් ඔක්තෝම්බර් මස 04 දින 1 බලකායේ බලකාධිපතිතුමන්ගේ සහ භටපිරිස්හි සහභාගීත්වයෙන් ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය අභියසදී කිරි ආහාර පූජාවක් සහ බෝධි පූජාවක් පවත්වා 1 බලකායේ ධජය සහ සියළුම භටපිරිස් වෙත ආශිර්වාද එක් කරනු ලැබීය.

කිලිනොච්චිය තිරුමුරුකණ්ඩි පුල්ලෙයාර් කෝවිල, ජුම්මා මුස්ලිම් පල්ලිය සහ ශාන්ත තෙරේසා දේවස්ථානය යන දේවස්ථානයන්හිදී අනෙකුත් ආගමික ආශිර්වාද ලබාගැනීමේ වැඩසටහන් පවත්වන ලදී. අනතුරුව 1 බලකා විහාරස්ථාන පරිශ්‍රයේ බෝධි පූජාවක් පැවැත්වූ අතර, මලයාලකුලම් එස්.කේ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

සංවත්සරය උත්සවයට සමගාමීව අන්තර් සේනාංක ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වූ අතර, ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කිරීම ද සිදු විය.

සංවත්සර දිනය යේදී තිබූ අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින 1 බලකායේ බලකාධිපතිතුමන් වෙත එම බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

1 බලකායේ බලකාධිපතිතුමන් හමුදා සම්ප්‍රදානුකූලව භටපිරිස් අමතමින්, ‘පුහුණුව සොල්දාදුවන්ගේ හොඳම සුබසාධනයයි’ යනුවෙන් ප්‍රකාශ කළේය. එම කාර්යය සඳහා 1 බළකාය යටතේ විවිධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත්, සියලුම නිලයන් යුද්ධ හමුදාව සහ රට වෙනුවෙන් ඉටු කරන සේවය අගය කරන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළේය. අනතුරුව එතුමන් සංවත්සර සැමරුම සනිටුහන් කරමින් මූලස්ථාන පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කළ අතර පසුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනී නිටින ලදී. උත්සවයේ කටයුතු අවසන් කරමින් නෙළුම්පියස බහුකාර්ය ශාලාවේ පැවැති සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද එතුමන් සහභාගී විය.

සංවත්සර උත්සවය සඳහා 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 1 බලකායේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සියලුම නිලයන් සහභාගී වූහ.