Header

Sri Lanka Army

Defender of the Nation

16th October 2023 13:33:31 Hours

ගජබා රෙජිමේන්තුවේ 40 වැනි සංවත්සර සැමරුම් දිනයට සමගාමීව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 40 වැනි සංවත්සර දිනය පසුගිය සෙනසුරාදා (14) දිනට යෙදී තිබූ අතර, මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් එම රෙජිමේන්තුවේ දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය ඊට සමගාමීව සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකය අභියසදී ඉකුත් සිකුරාදා (13) දින යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූහ.

ජාතිය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් එම වීරෝදාර රණවිරුවන්ගේ හා රණක්‍ෂිතයට පත් වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, ගජබා රෙජිමේන්තුවේ සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනයක්, දානමය පිංකමක්, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වෙත පුෂ්පෝපහාර පිරිනැමීමේ උත්සවයක් ඇතුළු වැඩ සටහන් කීපයක් පැවැත්වීය.

සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ජාතික ගීය, යුද්ධ හමුදා ගීතය සහ ගජබා රෙජිමේන්තුවේ ගීතය ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්, ත්‍රස්ථවාදයෙන් රට මුදවා ගැනීමට දිවි පරදුවට තබමින් කටයුතු කල ගජබා රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු එහි රැස්ව සිටි සියලු දෙනා එම රෙජිමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීන සමාජිකයෙකු වන වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පළමුව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.

සුදු වතින් සැරසී එම උත්සව අවස්ථාවට සම්බන්ධ වූ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු ගජබා රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන්ගේ දූ පුතුන්, මව්වරුන් සහ බිරින්දෑවරුන් විසින් තම ආදරණිය යුධ විරුවන්ගේ නම් ඉතාමත් ඕනෑකමකින් යුක්තව නිරීක්‍ෂණය කල මොහොත ඉතා සංවේදී ජනක දර්ශණයක් විය.

ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද අනතුරුව එම උත්තරීතර පරිත්‍යාගයන් සිදුකළ රණවිරුවන්ට ගෞරවාචරය දැක්වූහ.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

2009 මැයි මාසයට පෙර මෙරටට සාමය උදාකරලීම සඳහා ත්‍රස්ථවාදයට එරෙහිව සටන් කල ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් 171 දෙනෙකු සහ සෙසු නිලයින් 4068 දෙනෙකු මාතෘභූමිය ආරක්‍ෂා කිරීම සඳහා සිය ජීවිත පරිත්‍යාග කළේය.