Header

Sri Lanka Army

Defender of the Nation

15th October 2023 22:29:09 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 12) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී එම රෙජිමේන්තුවේ දිවංගත වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප කිහිපයකට සහභාගී වූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත එම රෙජිමේන්තු සරඹ භූමියේ පිහිටි විශේෂ පිඨිකාවේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන්ගේ කීර්තිමත් සේවය ඇගයීමට ලක්කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එම රෙජිමේන්තුවේ භටපිරිස් සහ සිවිල් සේවක මහත්වරුන් සමඟ සුහද පිළිසඳරක නිරතවිය.

පසුව පැවති දිවා භෝජන සංග්‍රහය සමාප්තියේ භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුදකළේය. මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.