Header

Sri Lanka Army

Defender of the Nation

13th October 2023 20:43:31 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නව රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි අරඹයි

බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීස්සී පසුගිය බදාදා (ඔක්තෝබර් මස 11) දින රාජකාරි භාරගත්තේය. එම අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගී වූහ.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීස්සී වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. දශක තුනක් පුරාවට පැවති මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදීන්ගෙන් මාතෘභූමිය ආරක්‍ෂා කිරීමට උත්තරීතර පරිත්‍යාගයක් සිදුකළ වීරෝදාර රණවිරුවන්ගේ ස්මාරකය සහ පරම වීර විභූෂණලාභීන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීස්සී වෙත රෙජිමේන්තු සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව නව රෙජිමේන්තු අධිපතිතුමන් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිලයන් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී විය.