Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2023 23:02:30 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ දන්ත වෛද්‍යවරිය වෙත ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක’ ලාංඡනය දෙවන වරටත් හිමිගැන්වේ

74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ගෞරවනීය ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක’ ලාංඡන ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පනාගොඩ පැවති යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයේදී පැවැත්වූ අතර, එහිදි යුද්ධ හමුදාවට අභිමානයක් සහ කීර්තියක් අත්කරදුන් නිලධාරීන් 23 දෙනෙකු සහ සෙසුනිලයන් 20 දෙනෙකු වෙත ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසා’ ලාංඡන ප්‍රදානය කරනු ලැබීය.

මෙම සම්භාවනීය පිරිස අතරින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍යවරියක වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ලුතිනන් කර්නල් (වෛද්‍ය) ඩබ්ලිව්.ඩී.එස්.එන් ලෝචනා ප්‍රනාන්දු යූඑස්පී වෙත ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක’ ලාංඡනය දෙවන වරටත් පිරිනමනු ලැබීය.

2022 වර්ෂයේදී 73 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව (2022 ඔක්තෝබර් මස 10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් හඳුන්වා දුන් මෙම ඇගයීම් සම්මානය ප්‍රථම වරට නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසුනිලයන් 15 දෙනෙකුට හිමිගැන්වූ අතර, එම අවස්ථාවේදී ද ලුතිනන් කර්නල් (වෛද්‍ය) ඩබ්ලිව්.ඩී.එස්.එන් ලෝචන ප්‍රනාන්දු යූඑස්පී වෙත මෙම ඇගයීම් සහතිකය හිමිගැන්වීය.

2023 ඔක්තෝබර් මස 10 දින සිට වසරක් සපිරෙන 74 වන යුද්ධ හමුදා සංවත්සර දිනයේදී දන්ත වෛද්‍ය විද්‍යාවේ පමණක් නොව රෙජිමේන්තු ගීත, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල ගීතය සහ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ ගීතය රචනා කිරීම මගින් රෙජිමේන්තු කිහිපයකට සෞන්දර්යාත්මක වශයෙන් දායකත්වය ලබාදීම අගයමින් ඇයට යළිත් වරක් ‘යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක’ ලාංඡනය පිරිනැමිණි.

බාධක හමුවේ රට හැර නොයෑමට පුද්ගලයින් දිරිමත් කරමින් එතුමිය විසින් ‘රට හැර නොයමි’ යන තේමා ගීතය රචනා කරන ලදි.

සේවයට පමණක් නොව අනෙකුත් සෑම අංශයකින්ම දක්‍ෂතා දක්වන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුවිශේෂී කැපවීම මෙමඟින් ඇගයීමට ලක්කෙරෙනු ලැබේ.