Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2023 23:11:27 Hours

නුදුරේදී විශ්‍රාම ගැනීමට නියමිත විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති සහ කුරුණෑගල බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ නුදුරේදී විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් සෙනසුරාදා (ඕක්තෝම්බර් මස 08) දින පවත්වනු ලැබීය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත එම රෙජිමේන්තුවේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. පසුව විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය සහ පරම වීර විභූෂන ස්මාරකය අභියසදී යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිකරමින් ඔවුන් වෙත ගෞරවාචාර පුදකළේය.

එම රෙජිමේන්තු සරඹ භූමියේදී භටපිරිස් විසින් එතුමන් වෙත සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකරනු ලැබීය. පසුව එම සරඹ භූමියේදී එතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ සියලු නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනිසිටියේය.

එතුමන් විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කායවර්ධන මධ්‍යස්ථානයේදී එම රෙජිමේන්තුවේ සියලු නිලයන් ඇමතීය. එහිදි විජබාහු රෙජිමේන්තුව වෙත කීර්තියක් එක්කර දීමට කටයුතු කළ එම රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපතිවරුන් සහ සියලුම නිලයන් වෙත විශේෂ උපහාරය පුද කළේය. දේශනය අතරතුර විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ සියලුම සාමාජිකයින් වෙත සිය කෘතඥාතාවය පුදකිරීමටද එතුමන් අමතක නොකළේය.

මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගී වීමෙන් අනතුරුව සිය කාර්යාලයේදී නිල ලේඛණයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරී භාරදීම සනිටුහන් කළේය. පසුව එතුමන් මාර්ගය දෙපස රැස්ව සිටි භටපිරිස්වල ගෞරවාචාර මධ්‍යයේ විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් නික්ම ගියහ.

සම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහයේදී රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාව වෙනුවෙන් මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිදුකළ අනගි සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රධානය කළේය. එහිදි විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාලි පුස්සැල්ල මහත්මිය වෙත ද විශේෂ සමරු තිළිණයක් තිළිණ කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, විජයබාහු පාබල රෙජිමේන්තු මන්ත්‍රන සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ නිලධාරීන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ.