Header

Sri Lanka Army

Defender of the Nation

12th October 2023 18:29:37 Hours

නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන යුධෝපකරණ මාස්ටර් ජෙනරල් ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති සිය පවුලේ සාමාජිකයන් සමග ඉකුත් අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 10) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වසර 36 ක කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති ගේ අතීත මතකයන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ප්‍රවර්ධනය වෙනුවෙන් සිදුකළ කැපකිරිම් සහ ඉංජිනේරු කුසලතා සහ සංවිධානයේ විවිධ තාක්ෂණික ක්‍ෂේත්‍රයන් සහ ප්‍රායෝගික අවශ්‍යතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් එතුමන් ගත් උත්සාහයන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාවට ලක්විය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලබන යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය.

මෙම සුහඳ හමුව අවසානයේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී වනිගසේකර වීඑස්වී යූඑස්පී වර්ෂ 1987 ජූලි මස 20 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායට එක්විය. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් පාඨමාලා අංක - 29 යටතේ මූලික යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු එතුමන් වර්ෂ 1989 දෙසැම්බර් මස 12 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2021 අගෝස්තු මස 02 දින එතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම ලබන විට එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති යන තනතුරු හොබවා ඇත. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 11 ප්‍රවාහන බලඝණයේ ප්‍රවාහන භාර නිලධාරි, 7 සැපයුම් බලඝණයේ දෙවන අණදෙන නිලධාරි, 6 සංයුක්ත බලඝණයේ අණදෙන නිලධාරි, 11 ප්‍රවාහන බලඝණයේ අණදෙන නිලධාරි, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ විධායක අධිකාරි, ගුවන් සංග්‍රාමික බලසේනාවේ කාර්යයේ නියුතු මේජර් පාලන හා භඨකාර් සම්පාදන, 120 සංයුක්ත බලඝණයේ නිලධාරි අණදෙන, 150 සංයුක්ත බලඝණයේ නිලධාරි අණදෙන, හයිටි එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ සැපයුම් සහ ප්‍රවාහන නිලධාරි, යුද්ධ හමුදා සේවා බළකා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1 (සැපයුම්), 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ දෙවන අණදෙන නිලධාරි, 52 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන හා භඨකාර් සම්පාදන), යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1 (ප්‍රවාහන), 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී, 23 පාබල සේනාංකයේ කාර්යයේ නියුතු කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි, යුද්ධ හමුදා සුපවේදී බලඇණියේ අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් (සැපයුම හා ප්‍රවාහන), යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි තනතුරු රැසක් හොඹවා ඇත.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී වනිගසේකර වීඑස්වී යූඑස්පී සිය යුද්ධ හමුදා දිවිය තුළ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලාව, නිලධාරි උපදේශක පුහුණු පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පුහුණු පාඨමාලාව, සාමසාධක පුහුණු උපදේශක පාඨමාලා, මානසික මෙහෙයුම් පුහුණු පාඨමාලාව, තරුණ නිලධාරී සැපයුම් පාඨමාලාව - පකිස්ථානය, තරුණ නිලධාරීන්ගේ යාන්ත්‍රික ප්‍රවාහන පාඨමාලාව - පකිස්ථානය, Advanced Petroleum Course - පකිස්ථානය, මධ්‍යස්ථ වෘත්තීය පාඨමාලාව- බංග්ලාදේශය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මීට අමතරව, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කාම්බෝජයේ IIC තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාලන හා භඨකාර්ය සම්පාදන සහ සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනය ශාස්ත්‍රපති උපාධිය, යුරෝපීය වෘත්තීය අධ්‍යාපන ආයතනයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, ජාත්‍යන්තර වෙළඳාම සහ ප්‍රවාහනය සඳහා වන පුහුණු ආයතනයේ ජාත්‍යන්තර වෙළඳාම සහ ප්‍රවාහනය පිළිබඳ පාඨමාලාව, ජාත්‍යන්තර වෙළඳාම සහ ප්‍රවාහනය ආයතනයේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව, ජාත්‍යන්තර වෙළඳාම සහ ප්‍රවාහනය ආයතනයේ ජාත්‍යන්තර වෙළඳාම සහ ප්‍රවාහනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව වැනි උසස් අධ්‍යාපනික සහ හමුදා නොවන පාඨමාලා රැසක් හදාරා ඇත.