09th October 2023 21:59:05 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (ඔක්තෝබර් මස 06) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී, එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකර පරම වීර විභූෂණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
එතුමන් වෙත අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිය ධූරයේ රාජකාරී කටයුතු භාරදෙමින් කාර්යාලයේදී සිහිවටනයක් ලෙස එතුමන්ගේ ඡායාරූපය නිරාවරණය කළේය.
මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා එක් වූ අතර, එහිදී එතුමන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සියලු නිලයන් විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
භටපිරිස් ඇමතු එතුමන් රටවෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින්, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අභිවෘද්ධිය සඳහා සෑම සාමාජිකයෙකු වෙතම පැවරී ඇති වගකීම් පිළිබඳව සඳහන් කරමින් ඉදිරි කටයුතු සාර්ථකව සිදුකර ගෙන යාම සඳහා සිය සුභපැතුම් පිරිනැමීය. අනතුරුව, සිය ධූර කාලය තුළ තමන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන්ද සියලු නිලයන් වෙත ස්තූතිය පුද කළේය.
කඳවුරේ සිට ප්‍රධාන දොරටුව දක්වා වූ පිවිසෙන මාර්ගය දෙපස සිට නිලධාරීන් සහ සෙසු නිලයින් නික්මයන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත සිය සුභපැතුම් පිරිනැමීය. උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.