09th October 2023 22:02:57 Hours
වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ස්ථාපිත කර අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දිනට වසර 74 ක් සැපිරෙන මේ මොහොතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ඇන්තනි පියස් රත්නරාජා ඩේවිඩ් පිළිබඳ මතකය මෙලෙස දිගහැරේ. එතුමන් 1949 වසරේ යුද්ධ හමුදාවට බැඳී මේවන විට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාය.
ලුතිනන් කර්නල්වරුන් තිදෙනෙකු සමඟින් වර්ෂ 1949 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිහිටුවීමේ ඓතිහාසික ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ප්‍රථම ශිෂ්‍යභටයින් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟින් ගෞරවාන්විත, විශිෂ්ඨ සහ නොසැලෙන යුද්ධ හමුදාවේ ආරම්භය සනිටුහන් කෙරිණි.
එම පිරිස සමඟ යුද්ධ හමුදාවට බැඳී වනවිට ජීවමානව සිටින ජ්‍යෙෂ්ඨතම යුද්ධ හමුදා නිලධාරියා වන බ්‍රිගේඩියර් ඇන්තනි පියස් රත්නරාජා ඩේවිඩ් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේවන විට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ද වේ.
යාපනය ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු බ්‍රිගේඩියර් ඇන්තනි පියස් රත්නරාජා ඩේවිඩ් ශාන්ත පැට්‍රික් විද්‍යාලය සහ වඩ්ඩුක්කොඩෙයි යාපනය විද්‍යාලය තුලින් සිය සිප්සතර හැදෑරීය. වර්ෂ 1949 දී එතුමන් නවතමයෙන් ස්ථාපිත කරනු ලැබූ ලංකා නිත්‍ය බලකාය වෙත බැඳුනේය. වර්ෂ 1950 සිට 1951 දක්වා කාලය තුළ එතුමන් එක්සත් රාජධානියේ ඇල්ඩර්ෂොට් හි පිහිටි කීර්තිමත් Mons ශිෂ්‍යභට නිලධාරි පාසල වෙතින් එතුමන් සිය මූලික පුහුණුව හැඳෑරීය.
බ්‍රිගේඩියර් ඇන්තනි පියස් රත්නරාජා ඩේවිඩ් සිය පුහුණුව අවසන් කිරීමෙන් පසු ලංකා පාබල හමුදාවට බැඳුනේය. ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය පුරාවට එතුමන් ඛණ්ඩභාර නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික කපිතන් ‘ඒ’ සහ 1 ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක නිරීක්‍ෂකයෙකු ලෙස සේවය කරමින් ගෝලීය සාමසාධක ප්‍රයත්නයන් සඳහා ද සිය අගනා දායකත්වය ලබාදී ඇත. එතුමන් එක්සත් රාජධානිය සහ ඉන්දියාවේ පාඨමාලා හදාරමින් සිය හමුදා අධ්‍යයන කටයුතු අඛණ්ඩව සිදුකර සිය කුසලතා වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් කැපවූවේය.
වර්ෂ 1952 දී දියත් කරන ලද ලංකා හමුදාවේ ප්‍රථම අභ්‍යන්තර මෙහෙයුම වන ‘Operation Monty’ සඳහා දායකත්වය දැක්වූ බ්‍රිගේඩියර් ඇන්තනි පියස් රත්නරාජා ඩේවිඩ් ගේ දිවියේ වැදගත්ම ජයග්‍රහණය ද එය වීය. මෙම මෙහෙයුමේ අරමුණ වූයේ රාජකීය ලංකා නාවික හමුදාවේ වෙරළ මුර සංචාර සහ පොලිස් මෙහෙයුම් සඳහා සහය දැක්වීම වන අතර ඒ තුලින් ජාවාරම්කරුවන් වයඹ වෙරළ තීරයට රැගෙන එන නීතිවිරෝධී දකුණු ඉන්දීය සංක්‍රමණිකයන්ගේ පැමිණීම වැළැක්වීමේ අරමුණින් එය ක්‍රියාත්මක කරනු ලැබීය. වර්ෂ 1963 දී ‘Task Force Anti Illicit Immigration’ ලෙස නැවත නම් කරන ලද එම මෙහෙයුම වර්ෂ 1981 දක්වා පැවතිණි. බ්‍රිගේඩියර් ඇන්තනි පියස් රත්නරාජා ඩේවිඩ් ගේ පුරෝගාමී උත්සාහය මෙම මෙහෙයුමට අඩිතාලම විය.
බ්‍රිගේඩියර් ඇන්තනි පියස් රත්නරාජා ඩේවිඩ් වර්ෂ 1953 දී පැවති හර්තාලය සහ වර්ෂ 1956 දී පැවති ගල්ඔය නිම්න කැරලිවලදී පළාත් හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ‘Operation Monty’ ඔහුගේ භූමිකාවට අමතරව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
මේ වනවිට බ්‍රිගේඩියර් ඇන්තනි පියස් රත්නරාජා ඩේවිඩ් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රදේශයේ විශ්‍රාම සුවයෙන් පසුවන අතර රෙජිමේන්තු කටයුතු කෙරෙහි ද දැඩි උනන්දුවක් දක්වයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් හැඩගස්වා ඇති සාරධර්ම හා සම්ප්‍රදායන් පිළිබඳ ජීවමාන සාක්‍ෂියක් වන බ්‍රිගේඩියර් ඇන්තනි පියුස් රත්නරාජා ඩේවිඩ් වෙත අප සුබපැතුම් එක්කරමු. ඔහුගේ ආදර්ශමත් නායකත්වය සහ නොසැලෙන කැපවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා ඉදිරි පරම්පරාවන්ට ද මඟපෙන්වීමක් වනු ඇත.