Header

Sri Lanka Army

Defender of the Nation

09th October 2023 21:54:46 Hours

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ගංවතුර සහන කටයුතු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ පැසසුමට

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, ගරු කථානායකතුමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 08) දින ගංවතුරෙන් විපතට පත්වූ මාතර ප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය. එහිදී ඔවුන් ආපදාවට පත් ප්‍රදේශයේ ජනතාව හමු වූ අතර, යුද්ධ හමුදාව සිදුකරනු ලබන වෙහෙසකර ගංවතුර සහන මෙහෙයුම් කටයුතු ඇගයීමට ලක් කළහ.

මාතර, 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයට පැමිණි ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී විසින් ප්‍රදේශයේ ගංවතුර අවධානම සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. අනතුරුව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා හමු වී ආපදා තත්ත්වය පිළිබද ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දැනුවත් විය.

එතුමන් අනතුරුව මාතර මධ්‍ය මහා විද්‍යාලය තුළ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අවතැන් වූවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන තාවකාලික මුලුතැන් ගෙය නිරීක්‍ෂණය කරනු ලැබීය.

යුද්ධ හමුදා භටපිරිස් විසින් වැලි කොට්ට යොදා ගනිමින් ආරක්‍ෂා කර ඇති අත්තුඩාව වැව් බැම්ම ප්‍රදේශය නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, භටපිරිස්හි එම කාර්යය වෙනුවෙන් ප්‍රසාදය පලකළේය.