Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2023 22:33:25 Hours

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට යුද්ධ හමුදාව මගින් සිදුකරනු ලබන මානුෂීය මෙහෙයුම් කටයුතු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් ඇති වූ ගංවතුරින් විපතට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන සහන සැලසීමේකටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 07) දින නිරීක්ෂණ සංචාරයක නිරත වූයේය.

අධික වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ සහ අත්තුඩාව යන ප්‍රදේශයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මාතර, 3(ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා කඳවුරු පරිශ්‍රයේ දී සවිස්තරාත්මකව විස්තර කරන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් අනෙකුත් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා හමු වූයේය. එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත වත්මන් තත්ත්වය පැහැදිලි කළ අතර, මෙම මානුෂීය ආධාර ලබාදීමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන ලෙස ඉල්ලා සිටියේය.

අනතුරුව, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා හමුවිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආපදාවට පත්වූවන්ට පිසූ ආහාර ලබාදීම සඳහා එම කාර්යාල පරිශ්‍රයේම පවත්වාගෙන යන මුළුතැන්ගෙයද නිරීක්‍ෂණය කල යුද්ධ හමුදාධිපතිතුමන් එහි සිටි භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවවාරු කර ගත්තේය. මෙම මුළුතැන්ගෙය මගින් දිනකට 3000 කට අධික පිරිසකට පිසූ ආහාර ලබාදෙයි.

යුද්ධ හමුදාපතිතුමන් ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගංවතුරෙන් දැඩි බලපෑමට ලක් වූ මාලිම්බඩ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී භටපිරිස් සහන සේවා කටයුතු සිදුකිරීමේ කටයුතුවල නිරත වන ආකාරය නිරික්‍ෂණය කරමින් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟින් සුහද අදහස් හුවමාරු කරගත්හ.

නිරීක්‍ෂණ චාරිකාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, 613 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩී.එන්.ආර් කන්නන්ගර ආර්එස්පී අයිජී සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරිීන් පිරිසක් එක් වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් මාලිම්බඩ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව අත්තුඩාව ප්‍රදේශයට පැමිණි අතර, එහිදී ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අත්තුඩාව වැව් බැම්ම කැඩීයාම වැලැක්වීම සඳහා පසුගිය සිකුරාදා (06) වන දින සවස් කාලය මුළුල්ලේම යුද්ධ හමුදා භටපිරිස් විසින් වැලි කොට්ට යෙදා සිදුකරන ලද ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයන් නිරීක්‍ෂනය කරන ලදී. ඉන් පසුව එතුමන් තුඩාව ප්‍රදේශයේ ගංවතුර සහන සේවා කාර්යය භාරයන් පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා සංචාරයක නිරත විය.