Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2023 11:22:38 Hours

කොල්ලුපිටිය බස් රථ අනතුරින් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි සහාය

දෙණියාය බලා ධාවනය වූ ලංගම බස් රථයක් මතට කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීමෙන් අද උදෑසන සිදුවූ අනතුරෙන් මගීන් 20 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, අනතුරුව යුද්ධ හමුදා සාමාජිකයින්, නාවික හා ගුවන් හමුදා භටයන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සේවකයන් සහ කොළඹ නගර සභාවේ සේවකයන් ඇතුළු පිරිසක් කඩිනමින් ඔවුන් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබූහ.

142 පාබල බලසේනාවේ භටපිරිස් අනෙකුත් ගලවා ගැනීමේ කණ්ඩායම් සමඟින් අනතුරට පත් බස් රථය සහ තුවාල ලැබූ මගීන් ඉවත් කිරීමට සහය වූ අතර, ඩුප්ලිකේෂන් මාර්ගයේ සාමාන්‍ය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරනු ලැබීය.

14වන සේනාංකයේ බලසේනාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම මෙහෙයුම සිදුකරනු ලැබූහ.