Header

Sri Lanka Army

Defender of the Nation

28th September 2023 21:33:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර සැමරුමට ශ්‍රී දළදා මාලිගාවේදී ආශීර්වාද එක් කරයි

ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ආගමික සැමරුම් මාලාවේ දෙවැන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 28) දින පැවැත්විණ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික උත්සවය පැවැති අතර, ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී. එම්. කේ. ඩී. බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

‘ජාතියේ ආරක්‍ෂකයින්’ ලෙස ඉමහත් ප්‍රශංසාවට සහ ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනාව, සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස, සේනාංක, බලසේනා, සියලුම රෙජිමේන්තු, පුහුණු මධ්‍යස්ථාන සහ දිවයින පුරා ස්ථාපිත ඒකකයන්වල වර්ණවත් ධජයන් රැගත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ එම අංශයන් නියෝජනය වන පරිදි යුද්ධ හමුදා නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින් මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රී දළඳා මාළිගාවේ ප්‍රධාන දොරටුව අසල සිට දළඳා මාලිගාවේ උතුම් දළඳා වහන්සේ වැඩසිටින ගන්ධ කුටිය සහ පත්තිරිප්පුව වෙත ඉතා ශ්‍රද්ධා සිතින් යුතුව පැමිණියහ.

යුද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සංකේතාත්මකව යුද්ධ හමුදා ධජය ආශිර්වාද එක්කිරීම සඳහා පෙරහැරේ ඉදිරියෙන් රැගෙන යනු ලැබීය. ආගමික වතාවත් මධ්‍යයේ සෙත් පිරිත් සජ්ඣායනා කර රට ආරක්‍ෂා කිරීම උදෙසා කැපවු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ගමනට ආශිර්වාද එක් කරමින් තේවාව භාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ධජයන්ට සෙත් පැතූහ.

ආගමික වතාවත්වලින් පසුව, එක් එක් අංශයන් නියෝජනය කරමින් එම අවස්ථාවට එක් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ධජයන් භාරගන්නා ලදී. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී දළඳා මාලිගාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා වෙත සංකේතාත්මකව මූල්‍යමය පරිත්‍යාගයක්ද පිළිගන්වනු ලැබීය.

මෙම ආගමික උත්සවයේ සියලු කටයුතු යුද්ධ හමුදා විධායක ජෙනරාල් ශාඛාව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, පල්ලෙකැලේ පිහිටි 11 වන සේනාංකය සහ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී දළඳා මාලිගාවේ පහළ මහලේ පිහිටි බුද්ධ මන්දිරයට ගිලන්පස සහ බුද්ධ පූජාව පූජාකිරීමෙන් අනතුරුව දානය පූජා කිරීම සඳහා භික්‍ෂූන් වහන්සේලා පෙරහැරකින් වඩම්මනු ලැබූහ. මෙම ආශීර්වාද පූජාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ද සහභාගී විය.

අස්ගිරි පාර්ශවයේ, පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමිපාණන් විසින් අනුශාසනාවක් සිදුකරමින් යුද්ධ හමුදාවේ 74 වසරක අභිමානවත් ඉතිහාසය සහ දේශයේ යහපත උදෙසා ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් පිළිබඳව ද පැසසුමට ලක්කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර දිනයට ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ ආගමික උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ නිලධාරින් සහ සෙසුනිලයන් විසින් ගෞරවනීය මහා සංඝරත්නය වෙත ‘පරිස්කාර’ පූජා කරනු ලැබූහ.

ආගමික උත්සවය සඳහා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් කිහිප දෙනෙකුද එක් වූහ.