Header

Sri Lanka Army

Defender of the Nation

22nd September 2023 20:37:52 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නව නිවාස 925 ක් ඉදිකර අවසන්

වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, මානුෂීය මෙහෙයුම් සමාප්තියෙන් පසු මේ දක්වා ජාතික ආරක්‍ෂාව, සාමය ආරක්‍ෂා කිරීම, සංහිඳියාව සහ අවශ්‍යතා සහිත ජනතාවගේ ජීවනෝපාය සඳහා අත්‍යවශ්‍ය සේවාවන් රැසක් ඉටුකරමින් සිටිති.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් වවුනියාව, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කැපවී සිටින අතර එම බලප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන සහ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ද මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි. 2009 වර්ෂයේ සිට මේ දක්වා සිටි යුද්ධ හමුදාධිපතිවරුන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සම්බන්ධීකරණයෙන් මේ වෙනුවෙන් දේශීය හා විදේශීය සංවිධාන, පරිත්‍යාගශීලීන්, ස්වේච්ඡා සංවිධාන සහ අනෙකුත් සාමාජිකයන් සමඟින් අත්වැල් බැඳගනිමින් යුද්ධ හමුදාව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශය තුළ කටයුතු කරමින් සිටියි.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් සිය තාක්‍ෂණික විශේෂඥතාවය සහ ශ්‍රම දායකත්වය මත නව නිවාස 925 ක් ඉදිකර අවශ්‍යතා සහිත පවුල් වෙත පවරා දී අවසන් කර ඇති අතර තවත් අවශ්‍යතා සහිත පවුල් දෙකක් වෙනුවෙන් නව නිවාස ඉදිකරමින් පවතී. ප්‍රතිලාභී පවුල්වලට නව නිවාස ලබාදීමෙන් නොනැවතී ඔවුන්ගේ නිවාස සඳහා අත්‍යවශ්‍යය භාණ්ඩ ලබාදීම මෙන්ම ඔවුන්ගේ අනාගතය ගොඩනඟාගැනීම වෙනුවෙන් ස්වයං රැකියා ආදිය සඳහා යොමුකරවීමද යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබේ. මෙම ප්‍රවේශය එම ප්‍රදේශයේ පවුල්වල යහපැවැත්ම සහතික කිරීම පමණක් නොව කලාපයේ සමස්ත සංවර්ධනය සඳහා ද දායක වේ.

මේ තුළින් ඔවුන්ගේ ආර්ථික, සාමාජීය මෙන්ම සංස්කෘතික දියුණුව තුළින් අභියෝග ජයගනිමින් තිරසාර අනාගතයකට මඟපෙන්වීම යුද්ධ හමුදා විසින් සිදුකරනු ලැබේ.