Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2023 13:44:52 Hours

74 වන යුද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සියල්ල සූදානම්

(මාධ්‍ය නිවේදනය)

වර්ෂ 1949 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සර දිනය 2023 ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබනෙ අතර, යුද පිටියේදී මෙන්ම ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයන්හි දියුණුවත් සමඟින් අත්පත්කරගෙන ඇති සාර්ථකත්වය ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අත්‍යවශ්‍යය සෑම අවස්ථාවකදීම ‘ජාතියේ ආරක්‍ෂකයින්’ ලෙස පෙරමුණගෙන කටයුතු කරයි.

74 වන සංවත්සර දින උත්සවයේ කටයුතු යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සහ සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මහත් අභිමානයෙන් යුතුව 2023 සැප්තැම්බර් මස 27 වන දින සිට ආරම්භ වීමට නියමිතව ඇත.

මෙවර යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව යුද්ධ හමුදා මූලස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්‍ෂිණාවක් ඔක්තෝබර් මස 05 සහ 06 දිනයන්හිදී පැවැත්වීමට නියමිත අතර, සංවත්සර දින සැමරුම් ප්‍රධාන උත්සවයට ප්‍රථමව ආශිර්වාද වැඩසටහන් මාලාවක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, කොල්ලුපිටිය ජුම්මා පල්ලිය, වැල්ලවත්ත මයුරපති කෝවිල සහ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය යන ආගමික ස්ථානයන්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවය ඔක්තෝබර් මස 06 දිනත් යුද්ධ හමුදා දින පෙළපාලිය සහ සියලු නිල රාත්‍රී භෝජන සංග්‍රහය ඔක්තෝම්බර් මස 10 දින පැවැත්වීමට නියමිතව ඇත.

සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී වේ.

74 වන සංවත්සර දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් රණක්‍ෂිතයට පත්ව අනුරාධපුර ‘අභිමංසල 1’ සුවතා නිකේතනයෙහි‍ නේවාසිකව ප්‍රථිකාර ලබන වීරෝදාර රණවිරුවන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා ත්‍යාග පාර්සල් බෙදාදීමට නියමිතව ඇති අතර, ජාත්‍යන්තර ළමා දිනයට සමගාමීව 2023 ඔක්තෝම්බර් මස 01 දින බෝයගනේ, විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී එම රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ තොගයක්ද බෙදාදීමට නියමිතව ඇත. (නිමි)