Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2023 13:57:57 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟින් බදාදා (සැප්තැම්බර් මස 20) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ කැපවීම සහ විශිෂ්ඨ සේවය පැසසුමට ලක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුබපැතුම් ද එක්කළේය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව සහ දරුවන් දෙදෙනා සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මගපෙන්වීම පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහඳ හමුව අවසානයේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී දියතලාව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් මූලික හමුදා පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව එතුමන් වර්ෂ 1991 ජනවාරි මස 19 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2022 ඔක්තෝබර් මස 10 දින එතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම ලබන විට මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරය හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ එතුමන් යාපනය ප්‍රදේශයේ පිහිටි 106 වැඩපළේ වැඩපළ භාර නිලධාරී හා අණදෙන නිලධාරි, 1 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යටතේ ස්ථාපිත 102 වැඩපලෙහි වැඩපළ භාර නිලධාරි, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි III (පාලන), ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භඨ කණ්ඩායමේ අණදෙන නිලධාරී, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) ශ්‍රී ලංකා බලඇණියේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භටපිරිස්වල අණදෙන නිලධාරි, 4 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (ප්‍රවාහන), යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, අබෙයි (Abyei) එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ භඨකාර්ය සම්පාදන ප්‍රධානි (ප්‍රධානී - ජේ4), ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී, 12 පාබල සේනාංකයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදන), යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක සහ යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ වැනි ප්‍රධාන දූරයන් රැසක් හොබවා ඇත.

විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවා කාලය තුළ නිලධාරී විශිෂ්ඨතා පාඨමාලාව, ක්‍රියාන්විත මණ්ඩලික රාජකාරි පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, වැඩපළ කණ්ඩායම් අණදෙන නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ නිලධාරී විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාව - ඉන්දියාව, තරුණ කාර්මික නිලධාරී පාඨමාලාව - ඉන්දියාව සහ කාලතුවක්කු අලුත්වැඩියා ඉංජිනේරු පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී එක්සත් රාජධානියේ ‘London Business School’ විද්‍යාලය තුලින් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් ද හදාරා ඇත.