Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2023 21:22:33 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ ‘කොකාවිල් රණවිරු’ ස්මාරකය ඉදිකිරීමට මුල්ගල තබයි

‘පරම වීර විභූෂණ’ පදක්කමෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරුවෙකු වන කපිතන් එස්.ඩබ්ලිව්.එම් සාලිය උපුල් අලදෙණිය පීඩබ්ලිව්වී අනුස්මරණය කිරීම සඳහා මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ එම රණවිරුවා වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට මුල්ගල තැබීය.

වර්ෂ 1990 ජූනි මස 06 වන දින කොකාවිල් කඳවුරේ සිටි තම සගයන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමේ අරමුණින් තම ජීවිතය ගැන නොසිතා ස්වේච්ඡාවෙන්ම ත්‍රස්තවාදින්ට මුහුණ දී තම මව් බිම වෙනුවෙන් සිය ජීවිතය පුදකරන ලද කපිතන් එස්.ඩබ්ලිව්.එම් සාලිය උපුල් අලදෙණිය පීඩබ්ලිව්වී ගේ නිර්භීත ක්‍රියාවන් සිහිපත් කිරීම සඳහා වූ මෙම ස්මාරකය ඉදිකිරීමේ කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා (14) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාවේ ‘පරම වීර විභූෂණ’ පදක්කම හිමිකර ගත් ප්‍රථම නිලධාරියා බවට කපිතන් එස්.ඩබ්ලිව්.එම් සාලිය උපුල් අලදෙණිය පීඩබ්ලිව්වී ඉතිහාස ගතවන අතර, යුද්ධ හමුදාව විසින් සුවිශේෂී වීර ක්‍රියාවන්ගෙන් ජීවිතය පූජා කල රණවිරුවන් සඳහා පිරිනමන ඉහළම හමුදා සම්මානයද මෙය වෙයි. එම නිලධාරී රට වෙනුවෙන් සිදුකරනු ලැබූ කැපකිරීම සහ ජීවිත පරිත්‍යාගය අගයමින් ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔහුගේ මියයාමෙන් පසුව දෙවන ලුතිනන් නිලයේ සිට කපිතන් නිලය දක්වා නිලයන් දෙකකින් එකවර නිලයන් උසස් කරන ලදී.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී විසින් පිළිගන්නා ලදී. අනතුරුව එතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් ස්මාරකය ඉදිකිරීම සඳහා මුල්ගල තබනු ලැබීය.

මුල්ගල තැබීමේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූහ.