Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2023 21:27:30 Hours

51 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය වෙනුවෙන් ප්‍රජා මූලික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ 28 වන සංවත්සර දිනය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මස 12 දින ප්‍රජා මූලික වැඩසටහන් මාලාවක් පැවැත්විය.

සංවත්සර දිනය සනිටුහන් කරමින් සීමාසහිත ෆොන්ටෙරා සමාගමේ මූල්‍ය දායකත්වය මත 51 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් යාපනය ප්‍රදේශයේ පිහිටි සෙල්වපුරම් සහ යෝගපුරම් ප්‍රදේශවල ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 100 ක් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය. එහිදී එක් පවුලක් වෙනුවෙන් රුපියල් 5000/- ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සලයක් බෙදාදෙනු ලැබීය.

දානපතියන්ගේ මූල්‍යමය දායකත්වය මත පලාලි උතුරු රජයේ දමිළ මිශ්‍ර පාසල, පොන්නාලේ වරධරාජ පෙරුමාල් පාසල, සංගරතෙයි සින්නම්මා පාසල සහ කාර්තිකේය පාසල යන පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් 100,000/= බැගින් වූ මූල්‍යාධාර පිරිනැමීම ද මෙම වැඩසටහනට සමගාමීව සිදුකෙරණි. උතුරු, රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේ පැවති මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වූ සිසු සිසුවියන් 200 දෙනෙකු වෙත තේ පැන් සංග්‍රහයක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පි යූඑස්පි එන්ඩීසී සමඟින් ෆොන්ටෙරා සමාගමේ අධ්‍යක්‍ෂ නිමල් ගමගේ මහතා ද සහභාගී වූහ.

මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු 51 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ඩී. අනස් අහමඩ් විසින් සිදුකරන ලදී.

මෙම ප්‍රජා මූලික වැඩසටහන සඳහා 511 පාබල බලසේනාවේ කාර්යයේ නියුතු බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඩී.කේ.ටී. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී සහ 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් නිමන්ත ජයතිලක සහභාගී වූහ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරු භවතුන්ගේ ප්‍රශංසාවන් ද යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් පිරිනැමිණි.