Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2023 14:21:50 Hours

යුද්ධ හමුදාපතිතුමන් ‘රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සේවා මුක්ත භට සංගම් ලීගය’ මෙහෙයවන ලද සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙයි

රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සේවා මුක්ත භට සංගම් ලීගය (Royal Commonwealth Ex-Services League’) මගින් සංවිධානය කරන ලද ආරක්‍ෂාව සහ පාලනය පිළිබඳව සම්මන්ත්‍රණයේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 14) දින පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

සම්මන්ත්‍රණය එක්සත් රාජධානියේ රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය හිටපු සේවා මුක්ත භට සංගමයේ නියෝජිත නිලධාරීන් විසින් මෙහෙයවන ලද අතර, මෙරට සේවා මුක්ත භට සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති දෙදින සම්මන්ත්‍රණය සඳහා ආසියානු සහ අප්‍රිකානු කලාපයේ රටවල් 10ක් නියෝජනය කරමින් එම රටවල සේවා මුක්ත භට සංගම් නිලධාරීන් සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් එම සම්මන්ත්‍රණයෙන් පසුව රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සේවා මුක්ත භට සංගම් ලීගයෙහි නිලධාරීන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්තේය.

රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සේවා මුක්ත භට සංගම් ලීගය මගින් කලක් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ සේවය කළ සහ විදේශයන්හි පදිංචිව සිටින පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල හිටපු හමුදා සෙබළුන් සහ කාන්තාවන් සඳහා සුබසාධන ආධාර ලබාදීම සිදුකරනු ලබයි.

වර්ෂ 1951 දී අර්ල් හේග් (Earl Haig ) විසින් රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සේවා මුක්ත භට සංගම් ලීගය ආරම්භ කරන ලද අතර, මෙම සංවිධානයේ දැනට රටවල් 46 ක සංවිධාන 52 ක් සාමාජිකත්වය දරයි. කැරිබියන්, බටහිර, නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව, අග්නිදිග ආසියාව, පැසිෆික් සහ දකුණු ශාන්තිකර දූපත් ආවරණය කරමින් මෙම සංවිධානය කටයුතු කරයි. රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සේවා මුක්ත භට සංගම් ලීගය මගින් දිනකට සමාන ආහාර වේල් දෙකක දීමනාවක් සැපයීම වැනි සුභසාධන කටයුතු සිදුකරන අතර, එහි ප්‍රධාන පරමාර්ථය වන්නේ අවශ්‍යතා සහිත හිටපු හමුදා සෙබළුන් හා කාන්තාවක් සඳහා උපකාර කිරීමයි.