Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2023 20:00:48 Hours

යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපතිතුමන්, 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, පසුගිය බදාදා (සැප්තැම්බර් මස 13) දින දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කරනු ලැබීය.

නවීන පහසුකම් සහිත භෝජනාගාරයක්, බීම හලක්, රූපවාහිනී නැරඹුම් මැදිරියක් සහ මුළුතැන්ගෙයක් ඇතුළු තවත් අංග රැසකින් මෙම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී නිවස්නය සමන්විත විය. එම ඒකකයේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදිකරන ලද මෙම බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී විසින් සමරු ඵලකයක් නිරාවරණය කර එය විවෘත කරන ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.එන්.කේ හලංගොඩ යූඑස්පී පීඑස්සී එල්එස්සී විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. සංචාරය අතරතුරදී එතුමන් සියලු නිලයින් අමතමින් ඉහළ මට්ටමේ විනයක් පවත්වාගැනීමේ වැදගත්කම, සන්නිවේදනය නිසි ලෙස සම්බන්ධීකරණය කිරීම සහ තම රාජකාරීන් නිසි ලෙස ඉටුකිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.

එම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් භටපිරිස් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියහ. අනතුරුව මේජර් එස්.එන්.කේ හලංගොඩ යූඑස්පී පීඑස්සී එල්එස්සී විසින් යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී. උත්සව අවස්ථාවට යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.