Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2023 08:19:52 Hours

‘දෙවන පොල් ත්‍රිකෝණය’ ස්ථාපනය කිරීම සඳහා 64 පාබල සේනාංකයේ භටපිරිස්හි දායකත්වය

දිවයිනේ ‘දෙවන පොල් ත්‍රිකෝණය’ ස්ථාපනය කිරීමේ අරමුණින් මුලතිව් ප්‍රදේශය තුළ රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත පොල් වගාව සඳහා උනන්දුවක් දක්වන සිවිල් වැසියන් වෙනුවෙන් පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (09) දින 64 පාබල සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

ජාතික පොල් සතියට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වෙසෙන පවුල් 55 ක් වෙනුවෙන් පොල් පැළ 100 ක් ප්‍රදානය කරනු ලැබීය. 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

මුලතිව් දිස්ත්‍රික්කයට මූලිකත්වය ලබාදෙමින් ‘දෙවන පොල් ත්‍රිකෝණය’ යාපනය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත අතර එහිදී පොල් පැළ 20,000 ක් පමණ රෝපණය කිරීමට අපේක්‍ෂා කෙරේ. ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් වෙතින් සිවිල් ජනතාවගේ සහයෝගය මත එම කලාපය තුළ පොල් පැළ 20,000 ක් රෝපණය කිරීමේ කර්තව්‍යය භාරගෙන ඇත. වැල්ලාම්කුලම් යුද්ධ හමුදා ගොවිපළ වෙතින් මෙම ව්‍යාපෘතිය දිරිමත් කරමින් සිවිල් වැසියන් අතර බෙදාහැරීම සඳහා පොල් පැළ 2700 ක් රාජ්‍ය බලධාරීන් වෙත නොමිලේ ලබාදුන්හ.

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මූලිකත්වයෙන් මෙම පොල් පැළ බෙදාදීමේ වැඩසටහන එම සේනාංකයේ භටපිරිස් විසින් ආරම්භ කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 68 සහ 59 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් ද සහභාගී වූහ.