Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2023 21:56:52 Hours

ඉංජිනේරු සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක්

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ ඉල්ලීමකට අනුව එම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් 119 දෙනෙකු වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරනු ලැබූ පූර්ණ දින නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින මත්තේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම හා අධීක්‍ෂණය මත සිසු සිසුවියන්ගේ නායකත්ව ගුණාංග, සමූහ ක්‍රියාකාරකම්, පෞරුෂත්වය සහ සමාජ ආචාර ක්‍රමවේදයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම නායකත්ව පුහුණු වැඩසටහන පැවැත්විණි.

ක්‍රමවත්ව සම්බන්ධීකරණය කරනු ලැබූ මෙම නායකත්ව පුහුණු වැඩසටහනට සිසු සිසුවියන්ගේ දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් නායකත්ව ප්‍රායෝගික හා න්‍යායාත්මක දේශනයන්, ගෘහස්ථ හා එළිමහන් ක්‍රියාකාරකම් සහ ආදර්ශනයන් ඇතුළත් කෙරිණි.

වැඩසටහන සමාප්තියේ පැවති සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති සමඟින් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි ඒ.පී. ආදිහෙට්ටි මහත්මිය සහභාගී වූහ. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ පාසල් කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.