Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2023 11:15:03 Hours

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් යක්කල රණවිරු ඇපරල් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී සමඟ එක්ව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 8) දින යක්කල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා රණවිරු ඇපරල් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

කර්මාන්ත ශාලා පරිශ්‍රය වෙත සපැමිණි ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. පසුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, උපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී. වනිගසේකර යූඑස්පී සහ රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.බී. මහතුවක්කාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී විසින් සම්භාවනීය අමුත්තන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කර්මාන්තශාලා පරිශ්‍රය වෙත කැටුව යනු ලැබීය.

රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායකතුමන් විසින් එම ආයතනයේ ක්‍රියාකාරි අංශයන් පිළිබඳ හැඳින්වීමක් සිදුකරමින් සංචාරයේ නිරත අමාත්‍යතුමන් දැනුවත් කළේය.

කර්මාන්තශාලා පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු භටපිරිස් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරතවිය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායකතුමන් විසින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.