Header

Sri Lanka Army

Defender of the Nation

06th September 2023 06:57:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ නව වෙබ් පිටුව සහ ‘Trade Test Management System’ මෘදුකාංග යෙදවුම එළිදැක්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය වෙතින් හඳුන්වාදෙනු ලබන ‘Trade Test Management System’ යෙදවුම එළිදැක්වීම පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 05) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගි විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් හා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ මඟපෙන්වීම මත තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තාක්‍ෂණික නිලධාරින් විසින් කෙටි කාලසීමාවක් තුළ මෙම නව වෙබ් පිටුව සහ ‘Trade Test Management System’ මෘදුකාංග යෙදවුම සැලසුම් කරනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේ පැවති මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සව පරිශ්‍රය වෙත කැටුව යනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් එම නව වෙබ් පිටුව සහ ‘Trade Test Management System’ මෘදුකාංග යෙදවුම එළිදැක්වීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වෙත ආරාධනා කරනු ලැබීය.

මෙම නව වෙබ් පිටුව තුළින් භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ඉතිහාසය, අණ, පුහුණු සහ සම්මන්ත්‍රණ, සබඳතා විස්තර සහ අනෙකුත් සියලුම විස්තර පිළිබඳ දැනුවත්වීමේ හැකියාව පවතී.

යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු වෙත හඳුන්වාදෙනු ලබන මෙම ‘Trade Test Management System’ මෘදුකාංග පද්ධතිය තුළින් සියලුම යුද්ධ හමුදා රෙජිමේන්තුවලට අදාළ වෘත්තීය පුහුණු පරීක්‍ෂණ වාර්ථා පවත්වාගැනීම සහ එම තොරතුරු යාවත්කාලීන කිරීම මෙන්ම යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයන්ට ඔවුන්ගේ වෘත්තීයට අදාළ විස්තර වාර්ථාවන් ලබාගැනීමේ හැකියාව ද මෙම මෘදුකාංගය තුළින් හිමිවේ.

යුද්ධ හමුදාව තුළ පවතින විවිධ වූ භඨකාර්ය සම්පාදක කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා මෙම නව තාක්‍ෂණික යෙදවුම හඳුන්වා දී ඇත.

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා ඒකකයන් යටතේ වර්ෂ 1969 සිට 1979 දක්වා ‘ආධාරක කණ්ඩායමක්’ වශයෙන් භඨකාර්ය සම්පාදක අංශය ක්‍රියාත්මක විය.

යුද්ධ හමුදාවේ භඨකාර්ය සම්පාදක කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් වර්ෂ 1980 දී භඨකාර්ය සම්පාදක අංශයක් ස්ථාපිත කරනු ලැබූ අතර වර්ෂ 1998 දී එහි මූලස්ථානය කොස්ගම, සලාව ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබීය.

‘Trade Test Management System’ මෘදුකාංග යෙදවුම තුළින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංග්‍රාමික අවි, සංග්‍රාමික ආධාරක අවි සහ සේවා රෙජිමේන්තුවලට අදාළ විවිධ වූ ක්‍ෂේත්‍රයන් 132 ක් පිළිබඳ නිරන්තර යාවත්කාලීනයන් සිදුකරනු ලබයි.

මෙම උත්සවය සමාප්තියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන්ගේ සුරතින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම මෘදුකාංග යෙදවුම එළිදැක්වීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධයක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.