Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2023 21:17:19 Hours

553 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයට අයත් 553 පාබල බලසේනාව වෙතින් ආර්ථිකමය බෝග සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2023 අගෝස්තු මස 31 දින යාපනය රාමනාදපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩසටහනට සමගාමීව, අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසු සිසුවියන් 200 දෙනෙකු වෙනුවෙන් පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය පෙළපොත් ප්‍රදානය කෙරිණි. යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලීන් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සිය මූල්‍ය දායකත්වය ලබාදුන්හ‍.

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ MAS Holdings සමාගම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත ප්‍රතිලාභී පවුල් 200 ක් වෙත පොල්, කුඹුක්, මී, තල්, කොස් සහ කොහොඹ පැළ 200 ක් සහ කිලෝ 5 ක කාබනික පොහොර පාර්සලයක් බෙදාදීමේ වැඩසටහනක් ද මෙම අවස්ථාවට සමගාමීව සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් සිය සහයෝගය ලබාදෙන ලදී. 553 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස්.කේ. පෙරේරා ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 14 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහ.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 553 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභීන් පිරිසක් ද සහභාගී වූහ.