Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2023 16:27:38 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන්ට දිරිදීමනා

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මඟින් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් වෙනුවෙන් සඳුදා (අගෝස්තු මස 28) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී සුභසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මියගේ යෝජනාවකට අනුව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ සහභාගී විය.

යුද්ධ හමුදාධිපති සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පරිත්‍යාග වැඩසටහනේදී යුද්ධ හමුදා පවුල්වල දරු දැරියන් වෙනුවෙන් දිරි දීමනා සහ වෛද්‍ය ආධාර ලබාදුන්හ.

මෙම වැඩසටහන අතරතුර සිවිල් සේවක මහතෙකුගේ කැලණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන දියණියකගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇය වෙත ටැබ්ලට් පරිගණක යන්ත්‍රයක් පරිත්‍යාග කෙරිණි.

රණක්‍ෂිතයට පත්ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාජිකයෙකුගේ විශ්වවිද්‍යාල වරම් ලබා කැළණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබන පුතණුවෙකු වෙත අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට අත්වැලක් සපයමින් ඔහුට ලැප්ටොප් පරිඝණක යන්ත්‍රයක් ද මෙම වැඩසටහනේදී පරිත්‍යාග කෙරිණි.

අයවැය හා මූදල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වසර 19 ක් සේවය කර විශ්‍රාම ගිය දියවැඩියා රෝගය හේතුවෙන් පාදයක් කපා ඉවත් කළ විශ්‍රාමික සිවිල් සේවක මහතෙකුගේ ආර්ථික අපහසුතා පිළිබඳ සලකා බලමින් ඔහු වෙත කෘත්‍රිම පාදයක් ද මෙම වැඩසටහනේදී පරිත්‍යාග කෙරිණි.

යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී. ඒකනායක ආර්එස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණය නිලධාරි බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.