Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2023 22:04:32 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති සිය ධුරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව් ආර්එස්පී ආගමික ආශිර්වාද මධ්‍යයේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස ඉකුත් බදාදා දින (අගෝස්තු 23) පැවැති උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබීය. අනතුරුව, එතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරමින් යුද්ධයේදී දිවිපිදු වීරෝදාර රණවිරුවන් වෙත ගෞරවාචාර පුද කළේය. පසුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළේය.

මේජර් ජෙනරාල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සිය කාර්යාලයේදී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවට අනියුක්තව යුද්ධ හමුදාවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස සේවය කරනු ලබන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ බාල පුතනුවන් ද සහභාගී විය.

එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් භටපිරිස් අමතා තම ඉදිරි දැක්ම ඔවුන්ට පැහැදිලි කළේය. පසුව එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මීට පෙර මෙම ධූරයේ රාජකාරි හෙඹවු මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මෙම ධූරයට පත්කරන ලදී.