Header

Sri Lanka Army

Defender of the Nation

19th August 2023 20:37:42 Hours

55 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

55 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 17) දින කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, 14 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

නව සේනාංකාධිපතිතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත් අතර, අනතුරුව එතුමන් එම සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකටද පෙනී සිටියේය.

නව සේනාංකාධිපතිතුමන් විසින් එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව එතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වූහ.