04th August 2023 00:30:22 Hours
තලවාකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳුකර ප්‍රදේශයේ නාඳුනන කාන්තා මළ සිරුර සොයාගැනීමේ කාර්යයක නිරතව සිටියදී 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු කෝප්‍රල් කේ.එම්.එස්.කේ හේරත්, පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්විය. එම කොමිෂන් නොලත් නිලධාරීගේ නාමය තම රාජකාරිය කැපවීමෙන් යුතුව සිදුකරමින් සිටියදී රට දැය වෙනුවෙන් දිවිදුන් විරුවන් හා එක් වෙයි.
තලවාකැලේ පිහිටි ග්‍රේට් වෙස්ටර්න් කදුවැටියෙන් ඇදවැටි මියගිය බවට සැකකෙරෙන නාඳුනන කාන්තා මළ සිරුර සොයාගැනීමේ කටයුතු සඳහා ලිඳුල පොලිස් ස්ථානය වෙතින් යුද්ධ හමුදාවේ සහය ඉල්ලන ලදී. එම ඉල්ලීමට අනුව මෙහෙයුමක් දියත්කල යුද්ධ හමුදා භටපිරිස් විසින් එම කාන්තාවගේ මෘත දේහය සොයාගැනීමෙන් පසු අදාළ බලධාරීන් වෙත භාරදෙන ලදී. 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු කෝප්‍රල් කේ.එම්.එස්.කේ හේරත්, යුද්ධ හමුදා නිලධාරියෙකුගේ අධීක්‍ෂණය යටතේ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟින් මෙම මෙහෙයුමට සහභාගී වුහ. මියගිය කෝප්‍රල් කේ.එම්.එස්.කේ හේරත් දියණියන් තිදෙනෙකුගේ පියෙකු වෙයි.
යුද්ධ හමුදාවේ වසර 15 ක සේවා කාලයක් ඇති 37 හැවිරිදි එම කොමිෂන් නොලත් නිලධාරී ඇතුළු පිරිස නාඳුනන කාන්තා මළ සිරුර රැගෙන නැවත පැමිණෙන අවස්ථාවේදී මෙම සෙබලාට හෘදයාභාදයක් ඇතිවිය. අනතුරුව සෙසු භටපිරිස් ඔහු වෙත මූලික ප්‍රථමාධාර ලබාදුන් නමුත් ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වූ බැවින් කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා නුවරඑළිය රෝහල වෙත රැගෙන යාමට පියවර ගත්හ. වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කරන අවස්ථාව වන විටත් කෝප්‍රල් කේ.එම්.එස්.කේ හේරත් මිය ගොස්ව සිට ඇත. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවෙමින් පවතී.