Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2023 19:55:11 Hours

ඔඩ්ඩුුසුඩාන් ප්‍රදේශයේ විදුලිය අහිමි නිවාස වෙත සූර්ය විදුලි බුබුලු පරිත්‍යාගයක්

ඕස්ට්‍රේලියාවේ පිහිටි ‘ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා මිත්‍රත්ව’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ භටපිරිස් එම සේනාංක බලප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල වැසියන් වෙත සූර්ය බල විදුලි බල්බ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (22) දින මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

අධ්‍යාපන කටයුතුවල නිරත සිසුන් සිටින පවුල්වලට ප්‍රමුඛත්වය දෙමින් මෙම ව්‍යාපෘතිය මඟින් විදුලිය නොමැති නිවාස හිමි පවුල් 60 ක් වෙත එම විදුලි බුබුළු පරිත්‍යාග කරනු ලැබූ අතර එමඟින් විභාග සඳහා මුහුණදීමට අපේක්‍ෂාවෙන් සිටින සිසු සිසුවියන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ද අත්වැලක් සැපයේ.

ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය පිළිබඳ ග්‍රාම නිලධාරී වෙතින් තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව භටපිරිස් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබූ අතර 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

යුද්ධ හමුදා භටපිරිස්හි ඉල්ලීමකට අනුව ‘ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා මිත්‍රත්ව’ සංවිධානය විසින් එම සූර්ය විදුලි බල්බ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙනු ලැබීය. එම සංවිධානය නියෝජනය කරමින් පරාක්‍රම ගිරිහාගම මහතා සහ මේජර් අරුණ පෙරේරා (විශ්‍රාමික) මෙම අවස්ථාවට සහභාගි වූහ.

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ග්‍රාම නිලධාරින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.