Header

Sri Lanka Army

Defender of the Nation

21st July 2023 22:16:37 Hours

මාතලේ පැවති ‘උපසම්පදා විනය කර්ම’ පිංකමෙහි සම්භාවනීය ආරාධිතයෙකු වශයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම පිංකමෙහි සමාරම්භක උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (ජුලි මස 20) දින මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය. එම අවස්ථාවට අති ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, හිටපු කථා නායක ගරු කරූ ජයසූරිය මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන්, රාජ්‍ය අමාත්‍යවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්පිල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

රාජ්‍ය අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වූ මෙම උත්සවයේදී සාමණේර භික්ෂූන් වහන්සේලා 300 නමක් ඉපැරණි බෞද්ධ පැවිදි සම්ප්‍රදායට අනුකූලව උපසම්පදාව ලබා ගත්හ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

73 වන උපසම්පදා විනය කර්ම පිංකමේදී ‘ජය මංගල’ ගාථා හා ‘අභිනන්දන’ ගීතය සජ්ඣායනය කිරීම, ‘උපසම්පදා’ විනය කර්මය සඳහා පවත්වනු ලැබූ විභාගයේ සාමාර්ථයන් ලබාගත් භික්ෂූන් වහන්සේලා වෙත සහතිකපත් පිරිනැමීම, පිරිකර පිරිනැමීම, ගෞරව නාම, සිහිවටන පිරිනැමීම, භික්ෂූන් වහන්සේලාගේ ‘අනුශාසනා’ සහ ජනාධිපතිතුමන්ගේ කථාව පැවැත්වීමද මෙහිදී සිදුකෙරිණි.

මාතලේ, බණ්ඩාරපොළ සුදු ගඟ අද්දර පිහිටි ‘සීමාමාලකායේ’ මෙම විනයකර්මය සිදුකරන ලදී.