Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2023 12:46:00 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මාතලේ විජය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගනි

මාතලේ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ තම අධ්‍යාපනය හැදැරු පාසල් මාතාවට කෘතගුණ සැලකීමක් ලෙස ඉකුත් බදාදා (19) දින එම විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු එතුමන්ගේ සුරතින් ආරම්භ කරන ලදී. විජය විද්‍යාලයේ විදුහල්පති රාජිත තීක්‍ෂණ මහතාගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා ප‍්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුගේ අධීක්‍ෂණය යටතේ 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ක්‍රීඩා පිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික, ඉංජිනේරු සහ ශ්‍රම දායකත්වය ලබාදෙනු ලැබීය.

විද්‍යාලය වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත එම පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් ගෞරවාචාර පුදකරනු ලැබීය. අනතුරුව එම විද්‍යාලයේ විදුහල්පති රාජිත තීක්ෂණ මහතා, ගුරුවරුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම මැතිනිය වන යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිනිය උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සම්භාවනීය ආරාධිතයින් සියලු දෙනා පාසල් ක්‍රීඩාංගනය වෙත පැමිණිමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ‘මහා සංඝරත්නයේ’ ආගමික ආශිර්වාද මධ්‍යයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සංකේතාත්මකව ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කිහිප දෙනෙකු සමග විද්‍යාල පරිශ්‍රය නිරීක්‍ෂණය කරමින් ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූහ. ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය පාසල් අධ්‍යාපනය හදාරන අතරතුර පාසල් ශිෂ්‍යභට ඛණ්ඩයේ සාමාජිකයෙකු ද වූ අතර, විද්‍යාලීය බාලදක්‍ෂ කණ්ඩායමේ සාමාජිකයෙකු සහ ප්‍රධාන ශිෂ්‍ය නායකය ධුරයද හොබවා ඇත. මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව් එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාසල් කාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ඇතුලු පිරිසක් සහභාගී වූහ.