Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2023 21:17:51 Hours

උරුම්පිරායි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලකට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක්

විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන උතුරේ සිවිල් ජනතාව වෙනුවෙන් රජයේ මුදල් වැය නොකර පුද්ගලික ආයතන විසින් ඉදිකරදුන් නිවාස වාර්තා සියල්ල අභිබවා යමින් යාපනය අර්ධද්වීපයේ යුද්ධ හමුදා භටපිරිස්, අනුග්‍රාහකයන්ගේ සහය ඇතිව වාර්තාගත 770 වැනි නව නිවස ඉදිකර අවසන් කරන ලදී. උරුම්පිරායි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගවෙන තවත් පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබු මෙම නව නිවස ඉකුත් අඟහරුවාදා (2023 ජූලි 4) දින පැවැති උත්සවයකදී නිවාසලාභීන් වෙත භාරදෙනු ලැබීය.

මෙම නව නිවස ඉදිකිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ, 511 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් ඒ.ඩී.එස්.ඩී අතුකෝරල ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්වල තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී. උතුරේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන වැසියන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ කැනඩාවේ පදිංචි මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් විදේශයන්හි පදිංචි හේලි මැඩිසන් මහත්මිය, ඩැනියෙල් මිලාන් බාලරාජ් මහතා සහ ‘වන්නි ඒඩ් ඔෆ් කැනඩා’ සංවිධානය එක්ව මෙම නව නිවස ඉදිකිරීම සඳහා අනුග්‍රහකත්වය දක්වන ලදී. කොන්ඩාවිල් රාමක්‍රිෂ්ණ විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් විසින් උරුම්පිරායි ප්‍රදේශයේ සන්දීපා විමලාකරන් මහතාගේ පවුලේ, අධ්‍යාපන කටයුතු සඳහා දක්ෂ ඇති දරුවන් තිදෙනෙකු සිටින බවත් ඔවුන්ගේ පියාද කලක සිට රෝගාතුරව සිටින අතර සෞඛ්‍ය සංකූලතා කිහිපයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව භටපිරිස් දැනුවත් කර මෙම පවුලට නවස නිවසක් ඉදිකර දීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත් ඒ සඳහා සුදුසු ඉඩමක් උරුම්පිරායි ප්‍රදේශයේ ඔවුන් සතුව ඇති බවත් දැනුවත් කළේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් මත 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත භටපිරිස් විසින් 2023 මාර්තු 8 වන දින නව නිවස සඳහා මුල්ගල තැබු අතර, මාස හතරක් ඇතුළත ඉදිකිරීම් කටයුතු සිදුකර අවසන් කරන ලදී. නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූ අතර, තවද එම අවස්ථාව සඳහා ප්‍රතිලාභීන්, නිලධාරීන්, සෙසු නිලයින්, නිවාසලාභීන්ගේ ඥාතීන් සහ ගම්වාසීන් පිරිසක් සහභාගී වූ අතර, හින්දු ආගමික චාරිත්‍රානුකූලව නිවස විවෘත කරන ලදී. නිවස විවෘත කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය විසින් නිවාසලාභි පවුල වෙත සංකේතාත්මක යතුර, නිවසට අවශ්‍ය භාණ්ඩ සහ වියළි සලාක පාර්සලයක් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති, පොලිස් නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන්, ග්‍රාමසේවා නිලධාරින්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිලාභියාගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන් සහ අසල්වාසීන් පිරිසක් ද එක්ව සිටියහ.