Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2023 17:16:04 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු වර්ණ ප්‍රදානෝත්සවයේදි එම රෙජිමේන්තුවේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් වෙත වර්ණ ප්‍රදානය කෙරේ

යුද්ධ හමුදාව තුළ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ පාබල රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් සිව්වන වරටත් පවත්වනු ලබන ‘වර්ණ ප්‍රදානෝත්සවය-2023’ පසුගිය සිකුරාදා (23) දින කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ අතර තවත් ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සහ විජයබාහු පාබල රෙජිමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වර්ණවත් පෙරහැරකින් රෙජිමේන්තු බහුකාර්ය ශාලාව වෙත කැටුව යනු ලැබූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය. අනතුරුව රෙජිමේන්තු ගීතය ගායනා කිරීමෙන් පසුව සංස්කෘතික නර්තන අංගයන් කිහිපයක් ද පැවැත්විණි. පිළිගැනීමේ කථාව පවත්වමින් මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් මෙම වර්ණ ප්‍රදානෝත්සවයේ අරමුණ පිළිබඳ පැහැදිලි කරන ලදී.

මෙම වර්ණ ප්‍රදානෝත්සවය අතරතුරදී, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හිමිකරගැනීම සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩකයින් දිරිගැන්වීමේ අරමුණින් 2018 සිට 2022 වර්ෂය දක්වා කාලය තුළ අන්තර් රෙජිමේන්තු, ආරක්‍ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩකයින්ගේ කුසලතා ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත වර්ණ ප්‍රදානය කරනු ලැබීය.

මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මව්බිමට කීර්තියක් අත්කර දෙමින් ක්‍රීඩා ඉසව් 44 ක් නියෝජනය කරමින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 262 දෙනෙකු වෙත ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් වර්ණ ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් 2018 වර්ෂයේ සිට 2022 දක්වා කාල සීමාව තුළ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් වෙත අනාගතයේදී තවත් දක්‍ෂතා දක්වමින් ජයග්‍රහණ ලබාගැනීම සඳහා සුබපැතුම් එක්කරනු ලැබීය. ඉන් අනතුරුව, එලෙස දක්‍ෂතා දැක්වූ විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩකයින් හයදෙනෙකු වෙත එතුමන්ගේ සුරතින් සංකේතාත්මක කුසලාන පිරිනැමීය.

යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවේදී සිය අදහස් දක්වමින් “ශ්‍රී ලංකා යුද හමුදාව ‘ජාතියේ ආරක්‍ෂකයින්’ ලෙස සිය අගනා සේවාවන් ඉටුකරන අතරතුර ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකර ඇත. එම අභිමානය යුද්ධ හමුදාව වෙත උරුම කරදීම වෙනුවෙන් විජයබාහු පාබල රෙජිමේන්තුව ද සාඩම්බර දායකයෙකු වී ඇති බව පැහැදිලියි. ඔබ විවිධ ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ඔබගේ රෙජිමේන්තුවටත්, යුද්ධ හමුදාවටත්, සමස්තයක් වශයෙන් අප මාතෘභූමියටත් ගෞරවයක් හා කීර්තියක් ගෙන දී ඇත. සියලුම වර්ණලාභීන්ට මා සුබපැතුම් එක්කරනු ලබන අතර අනාගතයේ දී තවත් ජයග්‍රහණය අත්කරගැනීමට ඔබ සැම දිරිමත් කරමි.” යනුවෙන් ප්‍රකාශ කරනු ලැබීය.

විජයබාහු පාබල රෙජිමේන්තු වර්ණ ප්‍රදානෝත්සවය-2023 සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම ඇගයීමට ලක්කරමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට සමගාමීව, විජයබාහු පාබල රෙජිමේන්තුවේ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කරමින් අනාගත ජයග්‍රහණ ලබාගැනීම වෙනුවෙන් දිරිගැන්වීමක් වශයෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් එම රෙජිමේන්තු ක්‍රීඩා අරමුදල වෙත රුපියල් මිලියනයක මූල්‍යමය දිරිගැන්වීමක් ද ප්‍රදානය කරන ලදී.

උත්සවය සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ස්තූති කථාව පවත්වනු ලැබීය. මෙම වර්ණවත් උත්සව අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.