23rd June 2023 20:00:23 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සම්බන්ධීකරණය මත එක්සත් ජනපදයේ වෙසෙන රොෂාන් රාජප්පා මහතා විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත කල්ලඩි, මාවඩිචේනයි ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර පසුගිය බදාදා (ජුනි මස 21) දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභියා වෙත පවරාදෙනු ලැබීය.
24 විජයබාහු පාබල රෙජිමේන්තුවේ කාර්යයේ නියුතු අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා එම ඒකකයේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ 222 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම නිවාස ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි සාර්ථකව නිමකිරීමට හැකියාව ලැබිණි.
මෙම උත්සවයේදී, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් නිවාසලාභී ශිවකුමාර් රාමචිත්තා මහත්මිය වෙත සංකේතාත්මකව නව නිවසේ යතුරු භාරදෙන ලදී.
මෙම උත්සව අවස්ථාවට සමගාමීව, නිවාසලාභී පවුල වෙත රුපියල් 120,000/= ක වටිනාකමකින් යුත් ගෘහ උපකරණ පරිත්‍යාග කරනු ලැබූ අතර, යුද්ධ හමුදා සුබසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් රුපියල් 50,000/- ක වටිනාකමකින් යුත් ගෘහභාණ්ඩ පරිත්‍යාගයක් සහ රොෂාන් රාජප්පා මහතා රුපියල්. 48,000/- ක් හා 24 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේලා සහ ව්‍යාපාරික ප්‍රජාව ඒකබද්ධව රුපියල්. 30,800/- ක මූල්‍යමය පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා 222 පාබල බලසේනාවේ බලසේනාධිපති, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 22 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.