Header

Sri Lanka Army

Defender of the Nation

23rd June 2023 20:15:23 Hours

16 ගජබා රෙජිමේන්තුවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයන්ට දායකත්වය ලබාදෙමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවට අයත් 16 ගජබා රෙජිමේන්තුවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් සිදුකරනු ලබන සිවිල් සහයෝගීතා ව්‍යාපෘතීන් තවදුරටත් ප්‍රවර්ධනය කරමින් තබ්බෝව, ප්‍රදීපාගම ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා සිය දායකත්වය ලබාදුන්හ. නිවාසලාභී පවුල සතු දුෂ්කරතාවයන් පිළිබඳ 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් දැනුවත් වීමෙන් අනතුරුව මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

කලාඔය ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා පුහුණු පාසලේ හිටපු සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.එස්. ප්‍රේමවංශ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) ගේ ඉල්ලීමකට අනුව සහන් රාජපක්‍ෂ මහතා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ආධාර සහ අමුද්‍රව්‍ය සම්පාදනය කරනු ලැබීය. ඒ අනුව, 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එෆ්. කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණය මත 16 ගජබා රෙජිමේන්තුවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීන් විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබීය.

143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එෆ්. කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ආරාධනයකට අනුව මෙම නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූවේය. නිවාසලාභී වජිරා ප්‍රියංගනී මහත්මිය ප්‍රමුඛ එම පවුලේ සාමාජිකයන් අත්විඳින දුෂ්කරතා පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් මෙම නව නිවස ඉදිකරනු ලැබීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, අනුග්‍රාහක භවතුන් සහ නිවාසලාභියා විසින් පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කර නව නිවස විවෘත කිරීමෙන් අනතුරුව කිරි උතුරවනු ලැබීය. මෙම අවස්ථාවේදී නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් කිහිපයක් ද පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලි සහන් රාජපක්‍ෂ මහතා, ආරක්‍ෂක සේනා මූලස්ථානය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.එම්.එෆ්. කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, කලාඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.වී.ඒ. සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, 16 ගජබා රෙජිමේන්තුවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.